Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු ආයතනයේ අතුරු තහනම ඉවතට

පාපන්දු ආයතනයේ අතුරු තහනම ඉවතට

editorial - 2023 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයේදී තේරී පත්වූ නව විධායක සභාවට අභියාචනාධිකරණය පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඊයේ (20) ඉවත් කෙරුණි. එම අතුරු තහනම් නියෝගය දින තුනකට සීමා විය.

ජනවාරි 14 වැනිදා පැවැති ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයේදී සභාපති අපේක්ෂක ධුරයට නාමයෝජනා බාර දුන් හිටපු සභාපති ජස්වර් උමාර් මහතා විසින් තමන් නිලවරණයෙන් ඉවත් කිරීමට නිලවරණ කමිටුව ගත් තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර තිබුණි.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ, ජනවාරි 14 වැනිදා පත්වූ නව පාපන්දු විධායක සභාව, ක්‍රීඩා වැරදි සෙවීම් විශේෂ පොලිස් ඒකකය ඇතුළු පාර්ශ්ව ගණනාවක් වගඋත්තරකරුවන් කරමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ එම රිට් පෙත්සමෙන් ඉල්ලා සිටියේ ක්‍රීඩා වැරදී සෙවීමේ විශේෂ පොලිස් ඒකකය ලබාදුන් නිර්දේශයක් පදනම්  කර ගනිමින් පැවැති පාපන්දු නිලවරණයෙන් තමන් ඉවත් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙසයි.  කෙසේ වුවත් වගඋත්තරකාර පාර්ශ්ව අධිකරණයට පෙන්වා දුන්නේ අතුරු තහනම් නියෝග බලපැවැත්වීමෙන් දේශීය පාපන්දු පරිපාලන කටයුතු පවත්වාගෙන යාමට බාධා පැමිණෙන බවයි. එය සැලකිල්ලට ගනිමින් අභියාචනාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගය ඉවත් කළ අතර නඩුව යළි පෙබරවාරි 21 වැනිදා කැඳවීමට තීරණය කළේය.

මේ අතර ජනවාරි 14 වැනිදා පැවැති පාපන්දු ආයතනයේ නිලවරණය නිසියාකාරව පැවැත්වීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් ජස්වර් උමාර් මහතාට පක්ෂ පාපන්දු ලීග කීපයක් විසින් තවත් නඩුවක් අභියාචනාධිකරණයේ පවරා තිබෙන අතර එය මෙම 30 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.

අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමත් සමග පාපන්දු ආයතනයේ කටයුතු අද (21) සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව එහි ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.


අදහස් (0)

පාපන්දු ආයතනයේ අතුරු තහනම ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.