Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ලිවර්පූල් ක්‍රීඩකයෝ එෆ්.ඒ. කුසලාන දිනති

ලිවර්පූල් ක්‍රීඩකයෝ එෆ්.ඒ. කුසලාන දිනති

editorial - 2022 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝකයේ පැරණිතම පාපන්දු තරගාවලිය වන එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ 141 වැනි අදියරේ ශූරතාව දිනාගැනීමට ලිවර්පූල් ක්‍රීඩා සමජ‍ය ඊයේ (14 වැනිදා) සමත් විය. ‍චෙල්සි ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති අවසන් මහ තරගය දඬුවම් පහර 6-5 ක් ලෙස ජයගනිමින් ලිවර්පූල් ක්‍රීඩකයෝ මෙවර ශූරතාවට හිමිකම් කී අතර ඔවුන් එෆ්.ඒ. කුසලාන දිනාගත් 8 වැනි අවස්ථාව මෙය විය. ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ට ස්ටර්ලින් පවුම් ලක්‍ෂ 18 ක මුදල් ත්‍යාගයක්ද හිමි විය. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 81 ඉක්මවීය.

දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් පිරිසක් ඉදිරියේ එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගය ආරම්භයේ සිටම ඉතා තියුණු මුහුණුවරක් ගත්තේය. එහි ප්‍රතිඵලය ලෙස තරගයේ පළමු අදියර මෙන්ම දෙවැනි අදියරද ‍කිසිදු ගෝලයක් වාර්තා නොවෙමින් නිමාවට පත්විය. ලබාදුන් අතිරේක කාලයේදීත් කණ්ඩායම් දෙකම ගෝල ලබාගැනීමට අපොහොසත්වීම හේතුවෙන් තරගයේ ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා දඬුවම් පහර ක්‍රියාත්මක කිරීමට විනිසුරුවරයා පියවර ගත්තේය.

චෙල්සි කණ්ඩායම වෙනුවෙන් පළමු දඬුවම් පහර සාර්ථක කරගත් මාකෝ ඇලන්සෝ සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. කෙසේ වුවත් ලිවර්පූල් කණ්ඩායමේ ජේම්ස් මිල්නර් සාර්ථක කරගත් ‍දඬුවම් පහරත් සමග කණ්ඩායම් දෙක 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්විය. සීසර් ඇස්පිලිකියුටා ලබාගත්‍ දෙවැනි දඬුවම් පහර අසාර්ථ වීමත් සමග චෙල්සි කණ්ඩායම තරමක පසුබෑමකට ලක්වූ අතර ලිවර්පූල් කණ්ඩායමේ දෙවැනි දඬුවම් පහර සාර්ථක කරගත් තියේගෝ ඇල්කැන්ටාරා සිය කණ්ඩායම 2-1 ක් ලෙස ඉදිරියට ගෙන ආවේය.

ඉන් අනතුරුව චෙල්සි කණ්ඩායම වෙනුවෙන් රීස් ජේම්ස් සහ රොස් බාර්ක්ලිද, ලිවර්පූල් කණ්ඩායම වෙනුවෙන් රොබටෝ ෆර්මිනෝ සහ ඇලෙක්සැන්ඩර් ආනෝල්ඩ්ද දඬුවම් පහර සාර්ථක කරගැනීම හේතුවෙන් සිවුවැනි දඬුවම් පහර අවසන්වන විට කණ්ඩායම් දෙකේ පරතරය 4-3 ක් ලෙස පැවතිණ. චෙල්සි කණ්ඩායමේ පස්වැනි දඬුවම් පහර සාර්ථක කරගැනීමට ජෝජීනියෝ සමත් වුවත්, සැඩියෝ මේන් ලබාගත් ලිවර්පූල් කණ්ඩායමේ පස්වැනි දඬුවම් පහර අසාර්ථක විය. ඒ හේතුවෙන් යළිත් වරක් කණ්ඩායම් දෙක 4-4 ක් ලෙස සම තත්ත්වය පත්විය.

හකීම් සියෙච් චෙල්සි කණ්ඩායම වෙනුවෙන්ද, ඩියොගෝ ජෝටා ලිවර්පූල්

කණ්ඩායම වෙනුවෙන්ද හයවැනි දඬුවම් පහර සාර්ථක කර ගනීමින් ලකුණු තත්ත්වය 5-5 ක් ලෙස ඉහළ දැමූහ. එහෙත් ‍චෙල්සි කණ්ඩායමේ හත්වැනි දඬුවම් පහර ලබාගත් මේසන් මවුන්ට් අසාර්ථක වීමත් සමග තරගයේ වැඩි වාසි ලිවර්පූල් කණ්ඩායම වෙතට හැරිණ. ලද අවස්ථාවෙන් නිසි ඵල නෙළාගත් කොන්ස්ටන්ටිනෝස් සිමිකාස් ලිවර්පූල් කණ්ඩායමේ හත්වැනි දඬුවම් පහර සාර්ථක කරගනිමින් සිය කණ්ඩායමට දඬුවම් පහර 6-5 ක ජයක් ලබාදුන්නේය.

එංගලන්තයේ පාපන්දු සංගම් අතර 1871 දී ආරම්භ කරන ලද මෙම තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ පදනම අනුව පැවැත්වෙන අතර එහි මෙවර අදියර සඳහා කණ්ඩායම් 736 ක් සහභාගි වූහ. පළමු අවසන් පූර්ව තරගයේදී මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 3-2 ක ජයක් වාර්තා කරමින් ලිවර්පූල් ක්‍රීඩා සමාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. චෙල්සි ක්‍රීඩා සමාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 2-0 ක ජයක් වාර්තා කරමිනි.

-036


අදහස් (0)

ලිවර්පූල් ක්‍රීඩකයෝ එෆ්.ඒ. කුසලාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.