Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ප්‍රබලයෝ 5 ක් තවමත් වැට උඩ

ප්‍රබලයෝ 5 ක් තවමත් වැට උඩ

editorial - 2021 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යූරෝ 2020 පාපන්දු තරගාවලියේ මූලික වටයේ තරග 24 ක් නිමාවී තිබුණද, ලෝකෙ ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු ස්ථාන 12 අතර රැදී සිටින ප්‍රබල කණ්ඩායම් 5 ක් වන ප්‍රංශය, එංගලන්තය, පෘතුගාලය, ස්පාඤ්ඤය සහ ජර්මනිය තවමත් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට අසමත් වී සිටිති.

ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ දෙවැනි ස්ථානයේ පසුවන ප්‍රංශය මේ දක්වා සහභාගි වී ඇති තරග 2 න් එක් තරගයක් (ජර්මනියට එරෙහිව) ජයගෙන, සෙසු තරගය (හංගේරියාවට එරෙහිව) ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන ලකුණු 4 ක් ලබා ‘එෆ්’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටියි. කෙසේ වුවත් ඔවුන්ට අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා මේ මස 23 වැනිදා පැවැත්වෙන මූලික වටයේ අවසන් තරගයේදී පෘතුගාලය පරාජය කළ යුතුව තිබේ.  

ප්‍රංශය එම තරගයෙන් පරාජයට පත්වුවහොත් පෘතුගාලය නිසැකවම අවසන් ‍16 දෙනාගේ වටයට සුදුසුකම් ලබනු ඇත. එහෙත් අවසන් ‍16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා ප්‍රංශයට තවත් අවස්ථාවක් පවතින අතර ඒ සඳහා 23 වැනිදා පැවැත්වෙන ‘එෆ්’ කාණ්ඩයේ සෙසු තරගයේදී හංගේරියාව හමුවේ ජර්මනිය පරාජයට පත්විය යුතුය.

යම් හෙයකින් එම තරගය ජයගැනීමට ජර්මනිය සමත් වුවහොත් පෘතුගාලය සහ ජර්මනිය ‘එෆ්’ කාණ්ඩයෙන් අවසන් ‍16 දෙනාගේ වටයට පිවිසෙන අතර දෙවරක් (1984, 2000) යූරෝ පාපන්දු ශූරයන් බවට පත්ව සිටින ප්‍රංශයට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවනු ඇත. මේ වන විට තරගයක් ජයගෙන, තරගයක් පරාජය වී ලකුණු 3 බැගින් ලබා සිටින පෘතුගාලය සහ ජර්මනිය පි‍ළිවෙලින් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි සහ 12 වැනි ස්ථානවල සිටිති.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 4 වැනි ස්ථානයේ රැදී සිටින එංගලන්තය මේ දක්වා සහභාගි වූ තරග‍ දෙකේදී ක්‍රොයේෂියාව (ගෝල 1-0) පරාජය කිරීමටද, ස්කොට්ලන්තය සමග (ගෝල 0-0) තරගය සම කරගැනීමටද සමත් විය. ඒ අනුව ලකුණු 4 ක් ලබා ‘ඩී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින එංගලන්තය, අවසන් ‍16 දෙනාගේ වටයට පිවිසීම සඳහා මේ මස 22 වැනිදා පැවැත්වෙන තරගයේදී චෙක් ජනරජය පරාජය කළ යුතුය.

එම තරගයේදී එංගලන්තය පරාජය කිරීමට චෙක් ජනරජය සමත් වුවහොත් ඔවුන් ‘ඩී’ කාණ්ඩයෙන් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගන්නා පළමු කණ්ඩායම බවට පත්වනු ඇත. එසේ වුවහොත් එංගලන්තයට අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා එදිනම ක්‍රොයේෂියාව සහ ‍ස්කොට්ලන්තය අතර පැවැත්වෙන තරගයේ ප්‍රතිඵල ලැබෙන තෙක් බලා සිටීමට සිදුවනු ඇත.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයේ පසුවන ස්පාඤ්ඤය, මෙවර යූරෝ 2020 පාපන්දු තරගාවලියේදී මේ දක්වා සහභාගි වූ තරග වලදී එක් ජයග්‍රහණයක් හෝ වාර්තා කිරීමට අසමත්ව සිටියි. ස්වීඩනයට එරෙහිව පැවැති තරගය ගෝල 0-0 ක් ලෙසද, පෝලන්තයට එරෙහිව පැවැති තරගය ගෝල 1-1 ක් ලෙසද අවසන් වීම නිසා ‍ස්පාඤ්ඤය ලකුණු 2 ක් ලබා ‘ඊ’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවේ.

කෙසේ වුවත් මේ මස 23 වැනිදා ස්ලෝවැකියාවට එරෙහිව පැවැත්වෙන තරගය ජයගැනීමට සමත් වුවහොත් ස්පාඤ්ඤයට අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇත. එහෙත් එම තරගයේදී පරාජයට පත්වුවහොත් තෙවරක් (1964, 2008, 2012) යූරෝ පාපන්දු ශූරතාව දිනා සිටින ස්පාඤ්ඤයට මෙවර අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් නොළබාම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවනු ඇත.

මේ වන විට සහභාගි වූ තරග දෙකේදීම ජය ලැබූ ඉතාලිය ‘එ්’ කාණ්‍ඩයෙන්ද, බෙල්ජියම ‘බී’ කාණ්ඩයෙන්ද, නෙදර්ලන්තය ‘සී’ කාණ්ඩයෙන්ද අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටිති. ඔවුන් සහභාගි වන මූලික වටයේ අවසන් තරග අද (20), හෙට (21) සහ අනිද්දා (22) වේල්සයට, උතුරු මැසිඩෝනියාවට සහ ෆින්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතය.


 

-036


අදහස් (0)

ප්‍රබලයෝ 5 ක් තවමත් වැට උඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.