Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football දකුණු කොරියාවට 5-0 ක ජයක්

දකුණු කොරියාවට 5-0 ක ජයක්

editorial - 2021 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

(නාමල් පතිරගේ)

දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර අද (9 වැනිදා) පැවති පාපන්දු තරගයේදී දකුණු කොරියානුවෝ ගෝල 5-0 කින් ශ්‍රී ලංකාව පරාජය කළහ. මෙම පරාජයත් සමග  ශ්‍රී ලංකාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් තේරීමේ වටයෙන් ඉවතට වීසි විය. ආසියානු කලාප දෙවන වටයේ තරගයක් වූ මෙම තරගය දකුණු කොරියාවේ සෝල් නුවර ආසන්නයේ පිහිටි ගොයැංග් හිදී පැවැත්විණ.

අද තරගයේදී මුණ ගැසුණු ප්‍රබල ප්‍රතිවාදීන් ඉදිරියේ ශ්‍රී ලංකාව තවදුරටත් අසීරුතාවයට පත්වූයේ 56 වැනි විනාඩියේ සිට ඔවුන්ට ක්‍රීඩකයන් 10 දෙනකුගෙන් පමණක් ක්‍රීඩා කිරීමට සිදුවීමය.  තරගයේ 56 වැනි විනාඩියේදී අසීකූර් රහුමාන් විනිසුරු වෙතින් දැඩි අවවාද ලබන කහ කාඩ්පත දෙවනි වරටත් ලැබීම නිසා ඔහුට තරගයෙන් ඉවත්වීමට සිදුවිය‍.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් තේරීමේ වටයේ තරගයක් වූ 2019 ඔක්තෝබර් 10 වැනිදා  සෝල් නුවර මෙම ක්‍රීඩංගණයේදීම පැවති තරගයෙන් දකුණු කොරියාව ජය ගන්නේ ගෝල 8–0 ක් පරිදිය.

ගෝල 1–0 කට පරාජය වූ උතුරු කොරියාවට එරෙහි තරගය අහෝසි කර දැමීම නිසා ශ්‍රී ලංකාව මෙම තරග වටයේ සහභාගි වූ සෙසු තරග හතෙන්ම පරාජයට පත් විය.
ලෙබනනයට එරෙහිව සෙනසුරාදා (5) පැවති තරගය ශ්‍රී ලංකාව ගෝල 3–2කට පරාජය වූ අතර තරගාවලිය පුරාම ශ්‍රී ලංකාව ලබාගත්තේ ගෝල 2 ක් පමණි. එහෙත් ප්‍රතිවාදීන් ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 23 ක් ලබා තිබේ. ඉන් 13ක්ම ලබා ඇත්තේ අද මුණගැසුණු දකුණු කොරියානුවන් විසිනි.

කෙසේ වුවත් අද ගෝල් 5–0කින් ලද පරාජය ශ්‍රී ලංකාවට යම් අස්වැසිල්ලක් ගෙන දීමට සමත් වූ බවද පෙනේ. වසරකට පෙර ශ්‍රී ලංකාවේ සේවය බාර ගත් ජාතික පාපන්දු පුහුණුකරු බොස්නියානු ජාතික අමීර් ඇලජික් මහතාද මෙම ප්‍රබල ප්‍රතිවාදියාගෙන් පළමු තරගයේ තරම් ගෝල ගණනක් එල්ල නොවීම නිසා කිසියම් සැනසිලිදායක තත්ත්වයක් අත්කරගෙන සිටී.

දකුණු කොරියානුවන්ගේ ජයග්‍රහණයට පළමු තරගයේදී මෙන් උරදුන්නේ කිම් යුන් වුක්ය. දෙපිල අතර මුල් තරගයේදී කොරියානුවන් වෙතින් වාර්තා වූ ගෝල තුනෙන් හතරක්ම හිමි කර ගත් කිම් යුන්,  ශ්‍රී ලංකා කණ්ඩායමට යළිත් අභියෝග කරමින් ගෝල දෙකක් ලැබීමට සමත් විය. දෙවැන්න ඔහුගේ ජාත්‍යන්තර තරග දිවියේ එකතුවූ 16 වැනි ගෝලය විය.

ප්‍රබල ප්‍රතිවාදියකු ඉදිරියේ වඩාත් කළබලකාරී ස්වරූපයක් ඉසිලූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනකුම කහ කාඩ්පතින් විනිසුරුවන් වෙතින් දැඩි අවවාද ලැබූහ. දෙවරක්ම අවවාද ලද අසිතූර් රහුමාන් 56 වැනි විනාඩියේදී පිටියෙන් පිටමං කරන අතර ජූඩ් සුපුන් හා චලන චමීර අවවාද ලැබූ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වෙති.

කොරියානු එක් ක්‍රීඩකයෙකුද මෙම තරගයේදී විනිසුරු වෙතින් දැඩි අවවාද ලබන කහ කාඩ්පත ලැබීය.

පුහුණුකරු අමීර් ඇලජික් මහතා ක්‍රීඩක ආදේශන හතරක් ලබා ගත්තේය.
හර්ෂ ප්‍රනාන්දු, උප නායක කවිඳු ඉෂාන්, ඩිලොන් ද සිල්වා සහ ජූඩ් සුපුන් යළි එළියට කැඳවමින් ඒ වෙනුවට චතුරංග මධුෂාන්, රොෂාන් අප්පුහාමි, මොහොමඩ් අකීබ් සහ මොහොමඩ් ෆසාල් පිටියට යැවීය.  තමන් ඉදිරියේ පසුවන්නේ තර්ජනාත්මක ප්‍රතිවාදියෙකු නොවුණත් කොරියානු පුහුණුකරු ෆවුලෝ බෙන්ටෝ මහතාද ක්‍රීඩකයන් 5 ක් ආදේශ කළේය.

තරගයේදී 14, 22 හා 42 යන විනාඩි වලදී ලද එම ගෝල වාර්තාවීමේදී තෙවෙනි ගෝලය දඬුවම් පහරකින් ලබා ගැනීමට කිම් යුන් සමත් විය.  පළමු භාගයේදී ගෝල 3–0 ක් ලෙස දකුණු කොරියාව පහසුවෙන් පෙරමුණ ගත්තේය.  52 වැනි හා 76 වැනි විනාඩි වලදී කොරියානුවෝ මෙම තරගයේ ගෝල 5 සම්පූර්ණ කළහ.

අද පැවති තවත් තරගයකදී තුර්ක්මෙනිස්ථානය විසින් ගෝල 3–2 කින් ලෙබනනය පරාජය කරන ලදි. මෙම පරාජය වීමත් සමග මෙම තරග වටයේදී ඔවුන්ගෙන් දකුණු කොරියානුවන්ට ලබන ඉරිදා (13) පැවැත්වෙන තරගයේදී එල්ල වීමට තිබූ පීඩනය අවම කරගෙන තිබේ.  ලෙබනනයට මෙම පරාජය දරාගත නොහැක්කේ ඔවුන් තුර්ක්මෙනිස්ථානයට එරෙහිව පැවැති තරගය ගෝල 2–1කට ජයගෙන තිබීම නිසාය.

ඒ අනුව, ඉරිදා ලෙබනනය හා පැවැත්වෙන තරග වටයේ අවසන් තරගයෙන් කොරියානුවන් පරාජයට පත්වුවත් දෙපිලේ සම ලකුණු තත්ත්වය හමුවේ ලෝක කුසලාන ඊළඟ තරග වටයට පිවිසීමේ අවස්ථාව දැනටමත් තහවුරු කරගෙන සිටින්නේ කොරියානුවන්ය.

මෙම තරගය ලෙබනනය ජයගතහොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු ගණන ද කොරියානුවන් හා ලකුණු 13 බැගින් සම වේ. එවිට ප්‍රතිවාදීන්ට එරෙහිව වැඩිම ගෝල රැස් කිරීම සැලකිල්ලට ගෙන ඊළඟ තරග වටයට අවස්ථාව උදා කරගන්නේ දකුණු කොරියානුවන් විසින්ය.

සෝල් නුවර සිට අද (10) පෙරළා දිවයිනට පැමිණෙන සංචාරක ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම තරග දෙකෙන්ම පරාජයට පත්වුවත් ප්‍රබල ප්‍රතිවාදීන් දෙදෙනකුට එරෙහිව පරාජයේ හානිය අවම කරගැනීමට සමත් වීම අගය කළ යුතුය.

ශ්‍රී ලංකාව ලබන ඔක්තෝබර් මාසයේ දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියට සහභාගි වීමට සූදානම්ව පුහුණුවීම් අඛණ්ඩව පවත්වාගෙන යාමට සැලැසුම් කර තිබේ.  කෙසේ වුවත් එම තරගාවලිය කොවිඩ් වසංගත තත්ත්වය තුළ පැවැත්වෙන බවට දකුණු ආසියානු පාපන්දු සම්මේලනය මෙතෙක් සනාථ කර නැත.

 


අදහස් (0)

දකුණු කොරියාවට 5-0 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.