Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football තරගාවලියෙන් නරඹන්නන් ඉවතට

තරගාවලියෙන් නරඹන්නන් ඉවතට

editorial - 2021 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

------------------
නාමල් පතිරගේ
------------------

රට තුළ තෙවැනි කොවිඩ්  රැල්ලක බියක් උද්ගතවීමක් සමග දැන් ආරම්භ වී තිබෙන ශ්‍රී ලංකා සුපර්ලීග් පාපන්දු තරගාවලියේ ඉතිරි සියලු තරග මුළුමනින්ම නරඹන්නන්ගෙන් තොරව පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

තරගාවලියේ පළමු  අදියරේ තරග 10ක් පවත්වා අවසන්ව තිබෙන අතර කොළඹ සුගතදාස පිටියේදී පැවැති එම තරග නැරඹීම සඳහා ක්‍රීඩා සමාජයකින්  තෝරාගත්  නරඹන්නන් පිරිසකට අවස්ථාව සලසාදී තිබුණි. ඒ කොවිඩ් නිරෝධායන නීති යටතේය.

එහෙත් පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවසුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට අනුව ඉතිරි තරග මුළුමනින්ම නරඹන්නන්ගෙන් තොරව පැවැත්වීමට තීරණය කළ බවයි.

මෙම තරගාවලියේ දෙවැනි අදියරේ තරග 10ක් සුගතදාස ක්‍රීඩාංගණයේදී ලබන සිකුරාදා (30) සිට පැවැත්වීමට නියමිතය. කෙසේ වුවත් තරගාවලියේ එළිදක්වා තිබෙන  නිල තරග සැලැස්ම වෙනස් කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි ද පාපන්දු සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

නිමාවට පත්වූ තරග දහයක ප්‍රසාද ලකුණු අනුව මුහුණ දුන් තරග දෙකම  ජය  ගනිමින් එහි පෙරමුණ ගැනීමට නාවික හමුදා (සී-හෝක්ස්) ක්‍රීඩකයෝ සමත්ව සිටිති. ඒ ලකුණු හයක් රැස් කරමිනි. ප්‍රතිවාදීන්ට එරෙහිව වැඩිම ගෝල ගණනක් (05) වාර්තා කර ඇති නාවලපිටිය අප්කන්ට්‍රි කණ්ඩායම හා බේරුවල රෙඩ්ස්ටාර් කණ්ඩායම සම ප්‍රසාද ලකුණු (4) ලබා ලකුණු සටහනේ දෙවැනි  හා තෙවැනි ස්ථාන ලබා සිටියි.

පළමු අදියර නිමාවේදී වෙන්නප්පුව  නිව් යංග්ස් ක්‍රීඩා සමාජයෙන් විරෝධතා දෙකක් ඉදිරිපත් කර තිබුණි. ගෝල 4/1කින් කොළඹ කණ්ඩායමට පරාජය වූ තරගය සඳහා එහි ක්‍රීඩා කළ මහමුද් රසික් නමැති ක්‍රීඩකයා ශ්‍රී ලාංකික පුරවැසිභාවය හිමි ක්‍රීඩකයකු නොවන බැවින් ඔහු කොළඹ කණ්ඩායමට ක්‍රීඩා කිරීම තරග නීති රීති  උල්ලංඝනය වීමක් බව වෙන්නප්පුවේ එක් විරෝධතාවයකින් කියවේ. ද්විත්ව පුරවැසිලාභියකු බව කියන එම ක්‍රීඩකයා ශ්‍රී ලංකා පුරවැසි පනත යටතේ සිය ශ්‍රී ලාංකික පුරවැසිභාවය අලුත් කර ගැනීමට මෙතෙක්  කටයුතු කර නැතැයි වෙන්නප්පුව නිව් යංග්ස්  පාපන්දු පෞද්ගලික සමාගමේ සභාපති රෝහිත ප්‍රනාන්දු මහතා ද‌ාතමින් යොමුකළ  එම විරෝධතාවයේ වැඩිදුරටත් දැක්වේ.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සිය කණ්ඩායමට  ප්‍රදානය කළ යුතු බවත් ඔහු විරෝධතාවයෙන් පාපන්දු සම්මේලනයට අවධාරණය කර ඇත. මෙම තරගයම  පාදක කරගනිමින් තවත් විරෝධතාවයක් ගොනුකර ඇති ‘නිව් යංග්ස්’ පාපන්දු  පෞද්ගලික සමාගම ඉහත තරගයේ 53 වැනි විනාඩියේදී  හා 78 විනාඩියේදී විනිසුරු ලබාදුන් වැරදි තීරණ දෙකකින් කොළඹ කණ්ඩායම ගෝල දෙකක් රැස් කළ බව කියා සිටියි.

සිකුරාදා රාත්‍රී 7.30ට වෙන්නප්පුව  ‘නිව් යංග්ස්’ කණ්ඩායම හා නාවික හමුදා සී-හෝක්ස්  කණ්ඩායම අතර තරගයෙන් සුපර්ලීග්  දෙවැනි වටයේ තරග ආරම්භ වේ.

මැයි 01 හා 02  යන දිනවලදී සුගතදාස පිටියේදී දෙවැනි අදියරේ තවත් තරග හතරක් පැවැත්වීමෙන් පසුව නැවත තරගාවලියේ ඉතිරි තරග ආරම්භවීමට නියමිතව ඇත්තේ ලබන ජුලි 2 වැනිදා සිටය.

පළමු අදියරේ තරග ප්‍රතිඵල

♦ කොළඹ පිල විසින් නිව් යංග්ස් පිල පරාජය කරන ලදී (4-0)
♦ රෙඩ්ස්ටාර් පිල විසින් බ්ලූස්ටාර් පිල පරාජය කරන ලදී (4-2)
♦ රිනවුන්  පිල හා යුද හමුදා ඩිෆෙන්ඩර්ස් පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (0/0)
♦ නාවික හමුදා සී-හෝක්ස් පිල විසින් බ්ලූඊගල්ස් පිල පරාජය කරන ලදී (1-0)
♦ රත්නම් පිල හා අප්කන්ට්‍රි පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (1-1)
♦ බ්ලූස්ටාර් පිල විසින් කොළඹ පිල පරාජය කරන ලදී (1-0)
♦ යුද හමුදා ඩිෆෙන්ඩර්ස්  පිල හා බ්ලූඊගල්ස් පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (0-0)
♦ නාවික හමුදා සී-හෝක්ස් පිල විසින් රිනවුන් පිල පරාජය කරන ලදී (2-0)
♦ රෙඩ් ස්ටාර් පිල හා රත්නම් පිල අතර තරගය ජය  පැරදුමෙන් තොරයි (0-0)
♦ අප්කන්ට්‍රි ලයන්ස් පිල විසින් නිව් යංග්ස් පිල පරාජය කරන ලදී (4/1).

 


අදහස් (0)

තරගාවලියෙන් නරඹන්නන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.