Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව FIFA WC 2022 ක්‍රොයේෂියාවට එරෙහිව බ්‍රසීලය හෙට තරග බිමේ
කටාර් - 2022

ක්‍රොයේෂියාවට එරෙහිව බ්‍රසීලය හෙට තරග බිමේ

editorial - 2022 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාපන්දු ලෝක කුසාලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය හෙට (9 වැනිදා) කටාර් රාජ්‍යයේ අල් රයාන්හි එඩියුකේෂන් සිටි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහිදී ක්‍රොයේෂියාවට එරෙහිව බ්‍රසීලය තරග බිමට පිවිසෙනු ඇත. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට රාත්‍රී 8.30 ට ආරම්භ වීමට නියමිතය. 

පෙර අර්ධ අවසන් පූර්ව (16 දෙනාගේ) වටයේදී දකුණු කොරියාවට එරෙහිව ගෝල 4-1 ක පහසු ජයක් ලබමින් බ්‍රසීලය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය. එහිදී ජපානය සමග ගෝල 1-1 ක් ලෙස සමවූ ක්‍රොයේෂියාව, අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ දඬුවම් පහර 3-1 ක් ලෙස ජපානය පරාජය කරමිනි. 

මේ දක්වා පාපන්දු ලෝක කුසලාන තරගාවලි 6 කට සහභාගි වී ඇති ක්‍රොයේෂියාව මින් පෙර අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණ ඇත්තේ අවස්ථා දෙකකදී (1998 සහ 2018) පමණි. අවසන් වරට 2018 වසරේදී පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අනු ශූරයන් බවට පත්වූ ක්‍රොයේෂියාව, මෙවර අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණි සිටින්නේ සිය අපරාජිත බව රැකගෙනය. 

මූලික වටයේදී ‘එෆ්’ කාණ්ඩය යටතේ තරග වැදුණ ක්‍රොයේෂියාව එහිදී මොරොක්කෝව සහ බෙල්ජියම සමග පැවැති තරග ජය පැරදුමකින් තොරව අවසන් කර ගනිමින් සෙසු තරගයේදී ගෝල 4-1 ක් ලෙස කැනඩාව පරාජය කළෙය්. ඒ අනුව ඔවුහු ‘එෆ්’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වෙමින් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්හ. 

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම ලෙස හැඳින්විය හැකි බ්‍රසීලය, මේ දක්වා ශූරතා 5 ක් (1958, 1962, 1970, 1994 සහ 2002) සහ අනු ශූරතා 2 ක් (1950 සහ 1998) දිනාගැනීමට සමත්ව තිබේ. කෙසේ වුවත් මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණි ගමනේදී ඔවුහු තරග 3 ක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්විය. 

මූලික වටයේදී ‘ජී’ කාණ්ඩය යටතේ තරග වැදුණ බ්‍රසීලය, සර්බියාවට එරෙහිව ගෝල 2-0 ක ජයක්ද, ස්විට්සර්ලන්තයට එරෙහිව ගෝල 1-0 ක ජයක්ද ලැබූ නමුත් සෙසු තරගයේදී කැමරූන් රාජ්‍යය හමුවේ ගෝල 1-0 ක් ලෙස පරාජයට පත් විය. කෙසේ වුවත් තමන් නියොජ්නය කළ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් 16 දෙනාගේ වටයට පිවිසීමට බ්‍රසීලයට හැකි විය. 

ක්‍රොයේෂියාව සහ බ්‍රසීලය මේ දක්වා ජාත්‍යන්තර පාපන්දු තරග 4 කදී එකිනෙකාට එරෙහිව තරගවැදි ඇති අතර ඉන් තරග 2 ක්ම ලෝක කුසලාන පාපන්දු තරග (2006 සහ 2014) වීමද කැපී පෙනේ. එම තරග 4 න් 3 කදී ම ක්‍රොයේෂියාව පරාජය කිරීමට බ්‍රසීලය සමත්ව ඇති අතර සෙසු තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත්වී තිබේ. 

මේ අතර අර්ධ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගය ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අතර ලුසේල්හි අයිකෙනික් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අනිද්දා (10 වැනිදා) අළුයම 12.30 ට ආරම්භ වීමට නියමිතය. ලෝක කුසලාන පාපන්දු තරගයකදී ඔවුන් එකිනෙකාට එරෙහිව තරග වදින 6 වැනි අවස්ථාවය එය වනු ඇත. 

දෙරට අතර මින් පෙර පැවැත්වී ඇති ජාත්‍යන්තර පාපන්දු තරග 9 න් 4 කදීම ආජන්ටිනාව පරාජය කිරීමට නෙදර්ලන්තය සමත්ව ඇති අතර නෙදර්ලන්තය පරාජය කිරීමට ආජන්ටිනාව සමත්ව ඇත්තේ තරග 3 කදී පමණි. සෙසු තරග 2 ජය පැරදුමකින් තොරව නිමාවට පත්ව තිබේ. මින් පෙර දෙටර අතර පැවැති ලෝක කුසලාන තරග 5 දී කණ්ඩායම් දෙකම තරග 2 බැගින් ජය ගෙන තිබේ.

-036


අදහස් (0)

ක්‍රොයේෂියාවට එරෙහිව බ්‍රසීලය හෙට තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.