Last Update  :  2021-09-16 19:43:00 About Contact
IMG-LOGO
නිවස්න පිටුව Features ලොව අසිරිමත්ම ක්‍රීඩා සැණකෙළිය ජපානයේදී

ලොව අසිරිමත්ම ක්‍රීඩා සැණකෙළිය ජපානයේදී

editorial - 2021 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සංජීව ධර්මසේන - ජපානයේ ටෝකියෝ නුවර සිට)

ලොව විශාලතම හා අසිරිමත්ම ක්‍රීඩා සැණකෙළිය වන ඔලිම්පික් උළෙලේ 32 වැනි අදියර ජපානයේ ටෝකියෝහිදී විචිත්‍රවත් සමාරම්භක උත්සවයක් සමඟින් අද (23දා) ආරම්භ වේ. ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීම සෑම කෙනෙකුගේම ප්‍රධානතම සිහිනය වුවත්, කෝවිඩ්-19 ව්‍යසනය හේතුවෙන් මෙවර සිය සිහිනය කරා යාමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවූයේ අභියෝග රැසකට මුහුණදීමෙනි.

ක්‍රීඩා 33 කට ඉසව් 339 ක්

අගෝස්තු මස 08 වැනිදා දක්වා පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් උළෙලට ක්‍රීඩා 33 ක් ඇතුළත් වෙයි. ඒවායේ තරග ඉසව් 339 ක් යටතේ තරග පැවැත්වේ. විශේෂයෙන් 2016 රියෝ ඔලිම්පික් උළෙලට ඇතුළත් වූ සියලුම ක්‍රීඩා (29) මෙවරද ඇතුළත් කර ඇති අතර ඊට අමතරව බේස්බෝල්, සැහැල්ලු පන්දු, ස්කේට් බෝඩිං, සර්ෆින්, ක්‍රීඩා කඳු නැගීම සහ කරාටේ යන ක්‍රීඩා අලුතින් එක්කර ඇත. පැවති ක්‍රීඩා කිහිපයකට නව මුහුණුවරක් ලබාදී ඇත. මෙම තරග ප්‍රධාන ක්‍රීඩා මධ්‍යස්ථාන 08 කදී පැවැත්වේ.

එක් එක් ක්‍රීඩාවන් සඳහා රන් පදක්කම් බෙදී යන ආකාරය පහත දැක්වේ.

පිහිනුම් හා ජල ක්‍රීඩා (49), දුන්නෙන් විදීම (5), මලල ක්‍රීඩා (48), බැඩ්මින්ටන් (5), බේස්බෝල් / සැහැල්ලු පන්දු (2), පැසිපන්දු (4), බොක්සිං (13), තනි ඔරුව පැදීම (16), පාපැදි (22), අසුන් මෙහෙයවීම (6), කඩු සරඹ (12), හොකී (2), පාපන්දු (2), ගොල්ෆ් (2), ජිම්නාස්ටික් (18), අත්පන්දු (2), ජූඩෝ (15), කරාටේ (8), නූතන පංචප්‍රයාම (2), ඔරු පැදීම (14), රග්බි (2), රුවල් ඔරු (10), වෙඩි තැබීම (15), ස්කේට් බෝර්ඩිං (4), කඳු නැගීම (2), සර්ෆින් (2), මේස පන්දු (5), ටයිකොන්ඩෝ (8), ටෙනිස් (5), තුන් ප්‍රයාම (3), වොලිබෝල් (4), බර ඉසිලීම (14) සහ මල්ලවපොර (18).

සත්කාරකත්වය ලබාගැනීම

ටෝකියෝ ඔලිම්පික් උළෙලට සත්කාරකත්වය ලබාගැනීම සඳහා වූ ඡන්ද විමසීම 2013 වසරේ ආර්ජන්ටිනාවේ පැවති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ 125 වැනි සභාවාරයේදී පැවැත්විණි. එහිදී තුර්කිය හා ස්පාඤ්ඤය පරාජය කරමින් ජපානය සත්කාරකත්වය ලබාගත්තේය. කෙසේ නමුත් මෙය පසුගිය වසරේ පැවැත්වීමට සැලසුම්කර තිබූ අතර, කොරෝනා වසංගතය හේතුවෙන් වසරකින් කල්දැමීමට සිදුවිය.

ශ්‍රී ලංකාවේ සහභාගිත්වය

කෝවිඩ්-19 වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ කිහිප දෙනෙකුටම ඔලිම්පික් බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය. නමුත් අසීරු කඩයිම් රැසක් පසුකරමින් මෙරටින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 09 දෙනෙක් ඔලිම්පික් වරම් දිනාගත්හ.

යුපුන් අබේකෝන් (මී. 100), නිමාලි ලියනාරච්චි (මී. 800), මැටිල්ඩා ක්ලාසන් (අසුන් මෙහෙයවීම), මිල්කා ගෙහානි (ජිම්නාස්ටික්), මැතිව් අබේසිංහ (පිහිනුම් මී. 100 නිදහස් ආර), අනිකා ගෆූර් (පිහිනුම් - මී. 100 සමනළ ආර), නිලූක කරුණාරත්න (බැඩ්මින්ටන්), චාමර නුවන් ධර්මවර්ධන (ජූඩෝ) හා තෙහානි එගොඩවෙල (වෙඩිතැබීම) යන අය මෙවර ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරති. අද පැවැත්වෙන සමාරම්භක උත්සවයේ ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ අවස්ථාව ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධනට හා ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානිට හිමිව ඇත.

ක්‍රීඩා උලෙළ සඳහා රටවල් 206ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11238කට වැඩි පිරිසක් පිරිසක් සහභාගීවීමට නියමිතව ඇත. (දිනෙන් දින පවතින කෝවිඩ්-19 අර්බුධ හේතුවෙන් සහභාගිත්වය වෙනස්විය හැක).

අතීතය

ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ආරම්භය ක්‍රි.පූ.776 දක්වා ඈතට දිවයයි. පුරාතන ග්‍රීසියේදී ආරම්භ වූ මෙය ග්‍රීක පුරාවෘත්තයන්හි සඳහන් වන දෙවිවරු (ඔලිම්පියන්ස්) දෙළොස්දෙනා පිදීම වෙනුවෙන් නිර්මාණය වූවක් බව ඉතිහාසයේ දැක්වෙයි.

මෙම ක්‍රීඩා උලෙළ ශත වර්ෂ 12 කට ආසන්න කාලයක් නොකඩවා පවත්වා ඇතත්, ක්‍රි.ව. 393 දී රෝම අධිරාජ්‍යයෙකු වූ තියෙඩෝසියස් විසින් තහනමට ලක්කර ඇති බව ඉතිහාස සාක්‍ෂි සඳහන් කරයි. ඔලිම්පික් උළෙල පුරාතන අවධිය හුදෙක්, ආගමික ඇදිහිලි වෙනුවෙන් නිර්මාණය වී ඇති බව ඉතිහාසඥයින්ගේ මතයයි. අතීතයේදී ක්‍රීඩා ඉසව් පිරිමින් සඳහා පමණක් වෙන්වී තිබී ඇත අතර, අවිවාහක කාන්තාවන් වෙනුවෙන්ද ඇතැම් තරග පැවැත්වා ඇති බව පුරාවෘත්තයන්හි සඳහන්ව තිබේ.

වර්තමානය‍

ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ අවශ්‍යතාව හොඳින්ම වටහාගත් ප්‍රංශ වංශාධිපතියෙකු වූ බාරොන් පියරේඩි කොබෝන් විසින් මෙය නැවත පැවැත්වීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත. ඒ අනුව නූතන ඔලිම්පික් ක්‍රීඩා උලෙළ 1896 වර්ෂයේදී විධිමත් ලෙස ග්‍රීසියේ ඇතැන්ස්හිදී ආරම්භ විය.

පළමු අදියරට රටවල් 13ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 280 දෙනෙකු සහභාගීවී ඇත. එහෙත් මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ ඉසව් 43 ක් යටතේ පැවති මෙම ක්‍රීඩා උළෙලට තරගකිරීමට ක්‍රීඩිකාවන්ට අවස්ථාවක් නොලැබීමයි. ඔලිම්පික් වෙනුවෙන් කාන්තා නියෝජනයන් ආරම්භ වූයේ 1900 වර්ෂයේදී ප්‍රංශයේ පැරිස්හි පැවති දෙවැනි ඔලිම්පික් උලෙළේදීය. ඉන් අනතුරුව අද දක්වා පැවති සෑම ක්‍රීඩා උලෙළකම ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය අනිවාර්ය අංගයකි.

ඔලිම්පික් ගිනිසිළුව

සාම්ප්‍රදායික ගිනිසිළුව, ඔලිම්පික් උලෙළේ ප්‍රධාන අංගයක් වේ. ග්‍රීක දෙවියෙකු වූ ප්‍රොමෙතියස් දෙවියන්, සියුස් දෙවියන්ගෙන් ගින්දර සොරකම් කිරීම සංකේතවත් කිරීම සඳහා මෙම ගිනිසිළුව ක්‍රීඩා උලෙළට පැමිණ ඇත. කෙසේ වෙතත් මෙය නූතන ඔලිම්පික් ක්‍රීඩා උලෙළට පළමුවරට හඳුන්වාදී ඇත්තේ 1928 වර්ෂයේදීය.

1936 වර්ෂයේ සිට, දිගුදුර ධාවකයින් මෙම ගිනිසිළුව රැගෙන ඊට පෙර ක්‍රීඩා උලෙළ පැවති නගරයන්හි මාර්ග ධාවනයෙහි යෙදීම චාරිත්‍රයක් හඳුන්වා දුන්හ. එම නගරවල සිට ධාවකයින්, ක්‍රීඩා උලෙළ පැවැත්වෙන ක්‍රීඩාංගණය දක්වා පැමිණ අවසානයේදී ක්‍රීඩාංගණයේ තබාඇති කටාරමක මෙම ගිනිසිළුව දල්වනු ලබයි. මෙය ක්‍රීඩා උළෙල අවසන් වන තුරුම නොනිවී දල්වා තැබීම සම්ප්‍රදාය වේ.

ඔලිව්අතු තොප්පිය

වර්තමානයේදී භාවිතා නොකළත්, ඔලිව්අතු තොප්පිය පැරණි ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ සුවිශේෂී වූයේ ජයග්‍රාහකයින් වෙනුවෙන් ප්‍රදානය කළ ජය සංකේතයක් වූ බැවිනි. ඔලිව් ශාකයේ කුඩා අත්තක්, රවුමක් හැඩයෙන් සකසා ගැනීම මගින් මෙය සකස් කොට ඇත.

පදක්කම්

ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එකම බලාපොරොත්තුව වන පදක්කම් වෙනුවෙන් රන්, රිදී හෝ ලෝකඩ අමුද්‍රව්‍ය ලෙස භාවිතා කර පදක්කම් නිර්මාණය කර ඇත. මි.මී. 60ක විෂ්කම්භයක් සහිතව නිපදවා ඇති පදක්කමක ඝණකම මි.මී. 3 කි. ග්‍රීක සම්ප්‍රදාය පිළිබිඹු වන ආකාරයෙන් මෙය නිපදවා ඇත.

 

කැප්ෂන්

1 ටෝකියෝ ජාතික ක්‍රීඩාංගණය(National Stadium)

2 ටෝකියෝ ජාතික පිහිනුම් ක්‍රීඩාගාරය (Tokyo Aquatics Center)

3 ඔරු පැදීමේ ප්‍රධාන මුහුදු මාර්ගය (Sea Forest Waterway)

4 ටෝකියෝ ගෘහස්ත ක්‍රීඩාගාරය (Ariake Arena)

5 සටන් ඉසව් ක්‍රීඩාගාරය (Nippon Budokan)

6 ඔලිම්පික් ගම්මානය (Olympic Village)

7 කැනොයින් ක්‍රීඩා මධ්‍යස්ථානය (Kasai Canoe Slalom Center)

8 ෆුකුෂිමා බේස්බෝල් ක්‍රීඩාංගණය (Fukushima Azuma Baseball Stadium)

 

 

 

 

 

 

 

 

 

 

 

 


අදහස් (0)

ලොව අසිරිමත්ම ක්‍රීඩා සැණකෙළිය ජපානයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.