Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features හතරේ සීමාවෙන් ඔබ්බට

හතරේ සීමාවෙන් ඔබ්බට

editorial - 2022 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ඇන්ජලෝ මැතිව්ස්ට ආරාධනා කළ ක්‍රිකට් ලෝලියෝ...

(දමින්ද විජේසූරිය ගාල්ලේ සිට)

ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රාහී නිමාවත් සමගින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සති 5 ක ශ්‍රී ලංකා සංචාරය අවසන් විය. වෝන් - මුරලි කුසලාන ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙසින් සමවිය. එක්දින තරගාවලියේදී 3-2 ක් ලෙසින් ශ්‍රී ලංකාව ජයගත්තේය. විස්සයි-20 තරගාවලියේදී 3-1 ක් ලෙසින් ඕස්ට්‍රේලියාව ජයගත්තේය.
 
ක්‍රිකට් ප්‍රතිඵල එසේ වුවත්, මෙම තරගාවලිය නිමාවන්නේ තවත් එක් ක්‍රිකට් තරගාවලියක් ලෙසින් නොව, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් වලින් ගහණ වූ අමරණීය තරගාවලියක් ලෙසිනි.

ක්‍රීඩා පිටියට ආවේණික එදිරිවාදීකම, තරහ යාම, තරගකාරීත්වය, තරගයෙන් පසු ඇතිවන සුහදතාව මෙන්ම එකිනෙකා කෙරෙහි පැවැති ගෞරවාදරය සහ ලෙංගතුකමද එහි නොඅඩුවම රැඳී තිබිණ. ඕස්ට්‍රේලියානුවන් ආපසු ගියේ අතිශය සුන්දර මතක සටහන් ගොන්නක් සිය සිත්සතන් තුළ රඳවා ගනිමිනි.

කණ්ඩායමේ හිටපු උපනායකයා වන, ආරම්භක පිතිකරු, ඩේවිඩ් වෝනර් මෙම තරගාවලිය පුරාම එතරම් සාර්ථකත්වයක් ලද පිතිකරුවකු නොවේ. විස්සයි-20, එක්දින සහ ටෙස්ට් යන සියලුම ආකාරයේ තරග වලට ක්‍රීඩා කළ නමුත් වෝනර්ට ලබාගත හැකිවූයේ එක්දින අර්ධ ශතක දෙකක් පමණි. ටෙස්ට් තරග දෙකක ඉනිම හතරේදීම වෝනර්ට ලබාගත හැකිවූයේ ලකුණු 64 කි. එහෙත් වෝනර් තරගාවලිය නිමා වීමත් සමගම සිය ඉන්ටග්‍රෑම් ගිණුමේ අපූරු සටහනක් තැබීය.

“අතිශය අසීරු කාලසීමාවකදී අප මෙහි ගෙන්වාගෙන සත්කාර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්තුති කරමි. මේ අවස්ථාවේදී මෙහි පැමිණ, අපි ඉතාමත් ආදරය කරන ක්‍රීඩාවේ නිරත වීමට ලැබීම සම්බන්ධයෙන් අපි ඔබට කෘතවේදී වන්නෙමු”
“ඔබ දෑතම විහිදා අපව ආදරයෙන් පිළිගත්තා. මෙම සංචාරය අපට කිසිදා අමතක වන්නක් නොවේ...”

“අවස්ථාව කොයි තරම් අසීරු වුවත්, එයින් නොසැලී, සෑම අවස්ථාවකදීම (කොළඹදී, පල්ලෙකැළේදී මෙන්ම ගාල්ලේදීත්) ඔබ සියලු දෙනාම සිනා මුසු මුහුණින් අපව පිළිගත්තා. ඔබේ විස්මිත රටට මා ආදරය කරන කාරණාව මෙයම මිස අන් කිසිවක් නොවේ” යයි ද ඩේවිඩ් වෝනර් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබිණ.

වෝනර් මෙන්ම ඕස්ට්‍රේලියානු නායකයා වන පැට් කමින්ස් ද සංචාරය නිමා කළේ සංවේදී සටහන් කිහිපයක්ම ඉතිරි කරමිනි.

“ශ්‍රී ලංකාවේදී ගතකරපු හැම තත්ත්පරයකදීම අපි පුදුමාකාර විදිහට සතුටු වුණා. හරිම සුන්දර මිනිස්සු.. ඒ වගේම පිට්ටනියේදී අපූරු තරගකාරී ක්‍රීඩකයන්” යයි ඕස්ටේ්‍රලියානු නායකයා සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබිණ.

වරක් දිවා ආහාරය ගැනීමට හෝටලයෙන් පිටතට ගිය අවස්ථාවකදී පැට් කමින්ස් දැවැන්ත පිඹුරෙකු අතේ වෙළාගෙන සිටියේය.

රට තුළ මොන මොන මොන ආකාරයේ දේශපාලන අලකලංචි තිබුණ නමුත්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ පමණක් නොව, ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් ලෝලීන් මෙන්ම තරගාවලිය හා බද්ධ වී සිටින අවශේෂ පිරිවරත් උපරිම නිදහසින් මෙන්ම විනෝදයෙන්ද සිටියහ. ඕස්ට්‍රේලියානු ටෙස්ට් පිලේ හිටපු ක්‍රීඩකයන් දෙදෙනකු වන මර්ව් හියුස් සහ රේ බ්‍රයිට් දෙදෙනාම ප්‍රේක්‍ෂක කණ්ඩායම් දෙකක් ද කැඳවාගෙන තරගාවලිය නැරඹීමට පැමිණියහ.

9 වැනිදා පැවැති මහජන අරගලය නිසා ගාලු මාතර මහා මාර්ගය, ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරියෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණ. එදා තරගය නිමා වීමෙන් පසුව ක්‍රීඩකයන් පිටියෙන් පිටව ගියේ වෙනදා පිටවන ප්‍රධාන දොරටුවෙන් නොව, ගාලු වරාය පැත්තෙන් පිහිටි දොරටුවෙනි. එදා පැවැති තත්ත්වය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු නායකයා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ඒකකය වෙත මෙසේ පැවසීය.

“ඒ විරෝධතාව මඟහැරලා යන්න අපට පුළුවන් වුනේ ණෑ,
“අපේ ගෙවල් වල අයගෙන්, අපේ තත්ත්වය ගැන අහලා, අපි හොඳින් ඉන්නවාද කියලා අහලා, පණිවුඩ වැලක්ම ගලාගෙන ආවා. ඒත් එක් අවස්ථාවකදී අපට දැණුනා, ඒක විරෝධතාවක ඉඳන් ජයග්‍රහණ සැමරීමකට පත්වුණා කියලා...”

“අපි හෝටලයේ සමහර සේවකයන් වගේම රියැදුරන් එක්කත් කතා කළා. ඔවුන් කිව්වේ ඔවුන් ඉතාමත් අසීරු කාලයක් ගතකරන බවයි. ඔවුන් කිව්වේ දවසක් කාලා තවත් දවසක් නොකා ඉඳලා තමන්ගේ දරුවන්ට කන්න දෙන බවයි. ඒක හරිම අමාරු තත්ත්වයක්” යයි කී ඕස්ට්‍රේලියානු නායකයා...

“එක අතකින් බැලුවාම ලෝකය පුරා සංචාරය කරන එකත් එක්තරා ආකාරයක වරප්‍රසාදයක්. ඒත් මේ වෙලාවේ, ක්‍රිකට් ගහන්නම නෙමෙයි, ශ්‍රී ලංකාවේ සිටින්නට ලැබීම අපි තවත් කාලයක් කතාකරන මාතෘකාවක් වේවි” යයිද ලෝකයේ අංක 1 හිමි ටෙස්ට් කණ්ඩායමේ නායකයා මෙන්ම අංක 1 හිමි ටෙස්ට් පන්දු යවන්නා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ඒකකයට පැවසීය.

පැට් කමින්ස් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ඕස්ට්‍රේලියානු නියෝජිතයාද වෙයි. යුනිසෙෆ් ආයතනය වෙනුවෙන් කළ වීඩියෝ වැඩසටහනකදී පැට් කමින්ස් මෙසේ ද කීවේය.
“මම පැට් කමින්ස්... ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් නායකයා වගේම යුනිසෙෆ් ආයතනයේ ඕස්ට්‍රේලියානු තානාපති”

“මම දැන් ඉන්නේ ශ්‍රී ලංකාවේ... ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින්”
“මට කියන්න තියෙන්නේ මේකයි..... මේක අදහගන්න බැරි ආකාරයේ රටක්.. ඒ වගේම මෙහි ඉන්නේ හරිම සුන්දර මිනිස්සු... ඒත් මේ වෙලාවේ ශ්‍රී ලංකාවේ ජන ජීවිතය නම් අන්තිම අසීරු අඩියකයි තියෙන්නේ....ඒකෙන් වැඩියෙන්ම අසීරුවට පත්වෙලා තිනේනේ ළමයි”

“මම ඊයේ - පෙරේදා කෞෂල්‍යා සහ සතුජා කියන ළමයි දෙන්නත් එක්ක කතා කළා. මම ඒ අයත් එක්ක කතා කළේ යුනිසෙෆ් ආයතනයේ ‘සංවර්ධනය සඳහා ක්‍රීඩාව’ කියන වැඩසටහන වෙනුවෙන්”

මෙම දරුවන් දෙදෙනාම නැගෙණහිර පළාතේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් වන අතර පාසල් වියේ සිටින්නෝ වෙති. එම සාකච්ඡාවෙන් පසුව පැට් කමින්ස් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට හැකි ඉක්මනින් ඉදිරිපත් වන ලෙසයි.
“අදම පරිත්‍යාග කරන්න”

“ශ්‍රී ලංකාවේ දරුවන්ට ඔබේ උපකාර ඕනා” යයි කමින්ස් ආයාචනා කළේය.
“යුනිසෙෆ් ආයතනය ඉන්නේ ජීවිත රැකගැනීමට අව්‍යශ්‍ය ජලය, පෝෂණය, සෞඛ්‍යය, අධ්‍යාපනය වගේම ළමා ආරක්‍ෂණ සේවා සැපයීමටයි. ඒ දිනෙන් දින ඉහළ යන දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන්”

“ඒ හින්දා අදම ඔබේ පරිත්‍යාගය කරන්න” යයි ඕස්ට්‍රේලියානු නායකයා ආයාචනා කළේය.
එය ඕස්ට්‍රේලියානු යුනිසෙෆ් ආයතනයෙන් ශ්‍රී ලංකාවේ දරුවන්ට උපකාර කිරීමට සකස් කර ඇති වැඩසටහනකි. www.unicef.org.au/srilankacrisis ඔස්සේ මෙම වැඩසටහන හා සම්බන්ධ විය හැක.

විස්සයි-20 සහ එක්දින තරගාවලිය නිමාවේදී ශ්‍රී ලංකාවේ ප්‍රේක්‍ෂකයන්ගෙන් ලබුණු උණුසුම් ප්‍රතිචාර සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නික් හොක්ලි මහතා මවිත වී සිටියේය.

“ඒ තරම් ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක් කහ පාට ඇඳගෙන හිටියේ මේක ඕස්ටේ්‍රලියාවද කියලා මට හිතුණා” යයි ගාල්ල ක්‍රීඩාංගණයේදී මාධ්‍ය කුටියට පැමිණ සුහද පිළිසඳරක යෙදී සිටි නික් හොක්ලි මහතා කීවේය. වෝන් - මුරලි තරගාවලිය ආරම්භ කිරීමට පෙර පැවැති ෂේන් වෝන් සමරු වඩසටහනට සහභාගි වීම සඳහා නික් හොක්ලි මහතා ශ්‍රී ලංකාවට පැමිණ සිටියේය.

මේ බැඳීම තිබුණේ ක්‍රීඩකයන් සහ පේක්‍ෂකයන් අතර පමණක් නොවේ.
හිටපු ටෙස්ට් ක්‍රීඩකයකු මෙන්ම රූපවාහිනී විස්තර විචාරක කණ්ඩායමේ සාමාජිකයකු වූ ෆර්වීස් මහරුෆ් සමග 2010 දී දිල්ලි ඩෙයාර් ඩෙවිල් කණ්ඩායමේ එකට සිටි වත්මන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇන්ඩෲ මැක්ඩොනල්ඩ්, දඟ පන්දු යවන්නන්ගේ පුහණුකරුවා වන ඩැනියෙල් විටෝරි (නවසීලන්තයේ හිටපු නායකයා) සහ ඩේවිඩ් වෝනර්ද සිය මිතුදම් අලුත් කරගත්හ. වෝනර්ට පැමිණිය නොහැකි වූ නමුත් සෙස්සෝ රාත්‍රී කෑමකට එක්වූහ.

මාධ්‍ය කුටියේ හැමදාමත් පවතින සහෝදරත්වය එලෙසින්ම තිබිණ.

ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදීන් වන ඇඩම් කොලින්ස්, ජෙෆ් ලෙමන්, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් මාධ්‍ය ඒකකයේ ලුවී කැමරන් සහ ක්ලැන්සි සිනමන්, ඉන්දියාවේ භාරත් සුන්දරේසන්, ඉන්දීය ජාතික ෆයිසාල් කමල් (ප්‍රංශ පුවත්) මෙන්ම නවසීලන්ත ටෙස්ට් පිලේ හිටපු නායක ජෙරමි කූනිද මාධ්‍ය කුටියේ සිටියහ. ශ්‍රී ලංකාවේ ක්‍රික් ඉන්ෆෝ වාර්තාකරු ඇන්ඩෲ ෆිඩෙල්, රෙක්ස් ක්ලෙමන්ටයින් (දි අයිලන්ඩ්), සාදි තව්ෆීක් (ඩේලි එෆ්.ටී.), චම්පික ප්‍රනාන්දු (සන්ඩේ ටයිම්ස්), ෂෙහාන් ඩැනියෙල් (ඩේලි මිරර්), දමිත් වීරසිංහ, එස්ටල් වාසුදේවන් සහ විරාජ් කොතලාවල (ද පපරේ), ධම්මික රත්නවීර (ඩේලි නිවුස්), ධනුෂ්ක අරවින්ද (ස්පෝට්ස් පැවිලියන්), ඉෂාර කොඩිකාර (ප්‍රංශ පුවත්) සහ එරංග ජයවර්ධන (ඒ.පී.) පමණක් නොව, වසර 30 කට වැඩි කාලයක් තිස්සේ මාධ්‍ය කුටියේ නිත්‍ය සාමාජිකයන් වන, දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණතම ලකුණු සටහන්කරුවන් දෙදෙනා වන තුෂාර කුරේ මෙන්ම චමින්ද ද සිල්වාත් එහි සිටියහ.

රූපවාහිනී විස්තර විචාරයට එක්ව සිටි ෆර්වීස් මහරුෆ්, රසල් ආනල්ඩ් සහ රොෂාන් අබේසිංහ නිතරම මාධ්‍ය කුටියට ආවෝය ගියෝය. අන්තර්ජාල සේවා සපයන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ චූලංග අධිකාරී, රන්දිල් උළුසුහේවා, ගයාන් ප්‍රශාන්ත සහ ෂෝන් විට්ටච්චිත් වරින් වර ගාල්ල මාධ්‍ය කුටියේ තම සේවා කටයතුවල නිරතව සිටියහ.

තම තමන්ගේ රාජකාරිය කුමක් වූවත්, මේ සියලු දෙනා අතර ඇත්තේ අවියෝජනීය බැඳීමකි. එය වසර ගණනාවක් ඈතට දිවයන්නක් ද වෙයි.

රිච්මන්ඩ් කන්ද දුම්රියපොළ අසළ, සුන්දර කඳුගැටයක් මත, ගාල්ලේ හැකියා කම්හල පිහිටියේය. ඒ රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රීඩා පිටියයි. දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ කිරීමට පෙර දෙරටේ මාධ්‍යවේදීන් අතර ක්‍රිකට් තරගයක් පවත්වමු යයි ඇඩම් කොලින්ස් යෝජනා කර තිබිණ. ඉතා ඉක්මනින්ම ඊට එකඟතාව පළවූ අතර තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පහසුකම් සැලසීය. ක්‍රීඩාංගණය දීමට රිච්මන්ඩ් විද්‍යාලයේ උප විදුහල්පති පියසිරි කුමාරගේ මහතා එකඟ විය.

සුහද ලීලාවෙන් නමුත් ඉතාමත් තරගකාරී ලෙසින් පැවැති තරගයේ ජය ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදීහු අත්කර ගත්හ. නවසීලන්ත පිලේ හිටපු ටෙස්ට් නායකයකු වූවද, ලණු පැදුරක පැවැති පන්දු 100 තරගය විනිශ්චය කිරිමට තරම් කාරුණික මෙන්ම ලෙංගතු හදවතක් 70 හැවිරිදි ජෙරමි කූනි මහතා සතුවිය.

“මේ වගේ මැටි තීරුවක ලණු පැදුරු එළලා ක්‍රිකට් ක්‍රීඩා කරන පිට්ටනි කීයක් විතර ඕස්ට්‍රේලියාවේ තියෙනවාද ?” යයි පන්දුවට පහර දෙමින් සිටි ලුවී කැමරන්ගෙන් විමසනු ලැබිණ.

“එකක් වත් නෑ” ලුවීගේ සෘජු පිළිතුර වූයේය.

නවසීලන්තය ඈඳා ගනිමින් එම ප්‍රශ්නයට විනිසුරු ජෙරමි කූනි මහතාගෙන් විමසන ලදි. ඔහුගේ පිළිතුරද කැමරන්ගේ පිළිතුරට වෙනස් නොවීය.

රේ බ්‍රයිට් සමග පැමිණි මැක්ස්වෙල් ඕ’කොනල් තමන්ගේ ශ්‍රී ලාංකික මිත්‍රයකුට ඕස්ට්‍රේලියාවෙන් ක්‍රිකට් පොත් දෙකක් ගෙනැවිත් තිබිණ. ඩෙනිස් ලිලී විසින් ලියන ලද “ක්‍රිකට් පිටියේ මගේ ජීවිතය” එකකි. සුප්‍රකට ඕස්ට්‍රේලියානු නායකයකු වූ රිචී බෙනෝ මහතා විසින් ලියන ලද “ක්‍රිකට් පිටියේ මගේ දඟකැවීම” අනෙක විය. මෙම පොත් දෙකේ හිලව්වට නොව, මිතුදම රැකගැනීම සඳහා ශ්‍රී ලාංකික මිත්‍රයාගෙන් මැක්ස්වෙල්ට පිරිනැමුණේ පිත්තල මංජුසාවකි. මේවා මිල නියම කළ නොහැකි මිතුදම්ය.

මේ සියල්ලටම පසුව, ටෙස්ට් තරගයේ ත්‍යාග ප්‍රදානය නිමාවී ක්‍රීඩාගාරයට යමින් සිටි ඇන්ජලෝ මැතිව්ස්ට ප්‍රේක්‍ෂකයන්ගෙන් ආරාධනාවක් ලැබිණ.

“ඇන්ජලෝ අයියේ... සෙල්ෆියක් ගහමුද?”

“හරි ගහමු...”
“අපිට පිට්ටනිය ඇතුලට එන්න බෑනේ... ” වැටෙන් එහා සිටි ප්‍රේක්‍ෂකයෝ කීහ.

“හරි මට දෙන්න ෆෝන් එක මම ගහන්නම්..” යයි කී මැතිව්ස් ප්‍රේක්‍ෂකයන්ගේ ජංගම දුරකතනය ඉල්ලා තමන්ම ඡායාරූපය ගෙන දුන්නේය. ජනතාව කිසිදු භේදයකින් තොරව, ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආදරය කරන්නේ මෙවැනි ලෙංගතු ඉදිරිපත්වීම් හේතුවෙනි.

තරගාවලිය නිමා වී සියලු දෙනා පිටව ගියද රාත්‍රී 8.00 පමණ වන තෙක් මාධ්‍ය කුටිය කාර්ය බහුල තැනෙකි. ඇතැමෙක් ඊට පසුවද තමන්ගේ වාර්තා සකස් කරති.

තමන්ගේ රාජකාරිය නිමාවී සියරට බලා යන බව පැවසීමට මාධ්‍ය කුටියට පැමිණි ඇඩම් කොලින්ස් සිය ශ්‍රී ලාංකික මිත්‍රයා වන රෙක්ස් ක්ලෙමන්ටයින්ගෙන් සමුගත්තේ උණුසුම් වැළඳගැනීමකිනි.

අද ඊයේ පමණක් නොව, අළු බඳුන තරගාවලිය සඳහා ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් එංගලන්තයට ගිය 40 දශකයේදීත්, නැව කොළඹ නැංගුරම් දැමූ ඇසිල්ලේම ක්‍රිකට් ක්‍රීඩා කිරීමට බ්‍රැඩ්මන්ලා කොළඹ ඕවල් පිටියට පිවිසියහ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සහ ඕස්ට්‍රේලියාව අතර දිගු කලක සිටම ඇත්තේ විශ්වාසනීය බැඳීමකි. එය ක්‍රිකට් ක්‍රීඩාංගණයක හතරේ සීමාවෙන් බොහෝ ඈතට ගිය සවිමත් බැඳීමකි. ඒ බැම්ම බැඳි බදාමය වන්නේ දෙරටේ ක්‍රිකට් ලෝලීන්ගේ අනෝන්‍ය ගෞරවාදරයයි.

වෝන් - මුරලි තරගාවලිය, තවත් දශක කිහිපයකින් පසුව, අළු බඳුන තරගාවලිය තරම්ම උද්ය්‍යෝගයෙන් නරඹන, ලෝකයේ අංක 1 ටෙස්ට් තරගාවලියක් වනු නිසැකය.


■ තරගාවලිය සම වීමෙන් පසුව වෝන් - මුරලි කුසලාන සමව ලබාගන්නා දිමුත් කරුණාරත්න සහ පැට් කමින්ස්..

 


අදහස් (0)

හතරේ සීමාවෙන් ඔබ්බට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.