Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features අඳුරු වළාවකින් මතුවූ රිදී රේඛා දෙකක්

අඳුරු වළාවකින් මතුවූ රිදී රේඛා දෙකක්

editorial - 2021 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

(ශානුක අරවින්ද සාජා සිට..)

මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ සිත් අහසට පැයූ අඳුරු වළාකුලක් බඳු වුවත්, ඒ තුළින් මතුවූ රිදී රේඛාවන් දෙකක් ලෙස චරිත් අසලංක සහ පැතුම් නිස්සංක හැඳින්විය හැකිය. ඔවුන් සතුව පවතින ක්‍රීඩා ශීලීත්වය සහ සහජ කුසලතා අනුව බලන කළ ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට පමණක් නොව, වැඩි කලක් යෑමට මත්තෙන් එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් දෙකටද ඔවුන් දෙදෙනා නැතුවම බැරි ක්‍රීඩකයන් දෙපළක් බවට පත්වනු නොඅනුමානය.

 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරගය නිමාවන විට වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ මුල් ස්ථාන 2 හිමිකර ගැනීමට මෙම යොවුන් පිතිකරුවන් දෙදෙනා සමත්ව සිටියේ ප්‍රබල පිතිකරුවන් රැසක් අභිබවා යමිනි. තරග 6 කදී අර්ධ ශතක 2 ක් සමග ලකුණු 231 ක් රැස්කළ චරිත් අසලංක ලැයිස්තුවේ පෙරමුණ ගත්තේය. තරග 8 කදී අර්ධ ශතක 3 ක් සමග ලකුණු 221 ක් රැස්කළ පැතුම් එහි දෙවැනි ස්ථානයට පත්විය. ඔවුන් දෙදෙනා අර්ධ ශතක ලබාගත් තරග 4 න් 3 කදීම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණ ලැබීය.

 මේ වන විට 24 වැනි වියේ පසුවන චරිත්, ශ්‍රී ලංකා වයස 19 න් පහළ සහ නැඟී එන කණ්ඩායම්වල  නායකත්වයද දැරූ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ආදි සිසුවකු වන ඔහු, පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේදී සිංහල ක්‍රීඩා සමාජයට (එස්.එස්.සී.) ක්‍රීඩා කරයි. වමිතින් පිත්ත හසුරවන ඔහුට දකුණතින් පිට දඟ පන්දු යැවීමේ හැකියාවද තිබේ. 

තවමත්  23 වැනි වියේ පසුවන පැතුම් ශ්‍රී ලංකා 19 න් පහළ සහ ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම් නියෝජනය කර ඇත. කොළඹ ඉසිපතන විදුහලේ ආදි සිසුවකු වන ඔහු, පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේදී බදුරලිය ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරයි.

ලෝක කුසලාන තරග 6 ක්ද සමගින් තවමත් විස්සයි-20 තරග 9 කට පමණක් ක්‍රීඩා කර ඇති චරිත්, තමන් ලද සෑම අවස්ථාවකින්ම පාහේ නිසි ඵල නෙලාගත්තේය. නැමීබියාවට සහ අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ මුල් තරග‍දෙකේදී කණ්ඩායමේ ස්ථානයක් අහිමි වුවද, නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී පිතිකරු ලැයිස්තුවේ අංක 3 ස්ථානය සඳහා ඔහුට කණ්ඩයමේ දොරටු විවර විය. එතැන් පටන් ශ්‍රී ලංකාව සහභාගි වූ සෑම තරගයකටම ක්‍රීඩා කළ ඔහු, තමාගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 46.20 ක් ලෙසත්, ලකුණු රැස්කිරීමේ වේගය 147.13 ක් ලෙසත් රඳවා ගත්තේය.

සහභාගි වූ දෙවැනි ලෝක කුසලාන තරගයේදීම සිය හොඳම විස්සයි-20 ඉනිම ක්‍රීඩා කළ චරිත්, බංග්ලාදේශයට එරෙහිව පන්දු 49 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 80 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ තරගයේ වීරයා බවටද පත් වෙමිනි. එහිදී  පැතුම් නිස්සංක (24) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනැගු චරිත්, ඉන් නොනැවතී භානුක රාජපක්ෂ (53) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 86 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේ කණ්ඩායමේ අංක 3 පිතිකරුවාගේ වගකීම අකුරටම ඉටු කරමිනි.

 “සංක්‍රාන්ති සමයක පසුවන කණ්ඩායමක ස්ථානයක් හිමිකර ගැනීම සඳහා ක්‍රීඩකයන්ට බොහේ දේ කිරීමට සිදු වෙනවා. එවැනි අවස්ථාවක ක්‍රීඩකයන්ගේ සිත්වල තරග පරාජය වීමට බියක් ඇති වෙනවා. ඒ වගේම විශාල වෙනස්කම් කරා යාමට මෙන්ම තරගයකට අවතීර්ණ වීමට බියක් ඇති වෙනවා. නමුත් මම චරිත් අසලංක තුළින් එවැන්නක් දකින්නේ නැහැ. ඔහු ඉතා දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වෙනවා.“

“දැන් ඔහුට අවශ්‍ය වෙන්නෙ ඔහුගේ මානසික ඒකාග්‍රතාවය තුළින් තරගයක් පාලනය කිරීම සහ කලමණාකාරණය කිරීම ඒ ඒ අවස්ථාවන්ට අනුව හැඩගස්වා ගැනීමයි. ඉදිරියේදී විශිෂ්ට ක්‍රීඩකයෙකු බවට පත්වන ලකුණු මේ වන විටත් ඔහු පෙන්වලා තියෙනවා.” යැයි එදා මෙදා තුර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ දක්ෂතම අංක 3 පිතිකරුවා වූ කුමාර සංගක්කාර මහතා කියා සිටියේය.

ලෝක කුසලාන තරගාවලියට පෙර විස්සයි-20 තරග 4 ක‍ට ක්‍රීඩා කර සිටි නිස්සංක, ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩා කළ තරග 8 ද සමග තවමත් සහභාගි වී ඇත්තේ විස්සයි-20 තරග 12 කට පමණි. එහෙත් තමා කවුදැයි යන්න මෙන්ම තමාට කළ හැකි දේ කුමක්ද යන්න ලොවට පෙන්වීම සඳහා ඔහුට එම තරග කිහිපය ප්‍රමාණවත් විය. විස්සයි-20 තරග රටාවට වඩාත් සුදුසු වන්නේ පන්දුවට රිදෙන්න පහරදෙන පිතිකරුවන් යැයි කියන කියමන මුසාවක් බවට පත්කළ පැතුම්, පන්දු රකින්නන් අතර පවතින හිදැස් තුළන් පන්දුව හතරේ සීමාව කරා යෑවීමට තමා අති දක්ෂයෙක් බව පිළිබිඹු කළේය.

අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රි ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වූ පැතුම්, පන්දු 47 කට මුහුණදෙමින් හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 61 ක් රැස්කළ අතර 18 වැනි ඕවරයේ 5 වැනි පන්දුව දක්වාම කඩුල්ලේ රැදී සිටියේය. ලකුණු 8 කට කඩුලු 3 ක් තිබියදී වනිඳු හසරංග (71) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 82 කදී ලකුණු 123 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කඩාවැටී තිබූ ශ්‍රී ලංකා ඉනිමට නව ජවයක් එක් කිරීමටද පැතුම් සමත් විය.

“පැතුම් නිස්සංක කියන්නේ ඕනම රටාවකට ඉතාමත් ඉක්මනින්ම අනුගත විය හැකි ක්‍රීඩකයෙක්. මම ශ්‍රී ලංකාවේ හිටපු කාලයේදී දැකපු හොඳම පිතිකරුවා ඔහුයි. පන්දු යවන්නාගේ අන්තය ඔස්සේ පන්දුව කෙළින්ම හතරේ සීමාව කරා යැවීමට සහජ හැකියාවක් ඔහුට තිබෙනවා. වැඩි කලක් යෑමට මත්තෙන් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක මට්ටමේ ක්‍රීඩකයකු බවට පත්වේවි. ඒ නිසා ඔහු දිගටම කණ්ඩායමේ සිටිය යුතුයි කියලා මම හිතනවා. එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් වේවි.” යැයි ශ්‍රී ලංකා කණ්ඩාය‍මේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා වරෙක පැවසීය.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 142 කට දැවී ගිය අතර ඉන් හරි අඩකට වඩා ලකුණු පැතුම්ගේ පිත්තෙන් වාර්තා විය. කගිසෝ රබාඩා, ඇන්රික් නොකියා, තබ්‍රේස් ශම්සි, කේෂව් මහරාජ් සහ ඩ්වේන් ප්‍රිටෝරියස් වැනි ප්‍රබල පන්දු යවන්නන් හමුවේ කිසිදු ආධුනික බවක් නොපෙන්වමින් පරිණත පිතිකරුවකු මෙන් සිය පිත්ත හැසිරවූ පැතුම්, එහිදී පන්දු 58 කින් ලකුණු 72 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරගය වත්මන් ලෝක ශූරයන් වන කොදෙව්වන්ට එරෙහිව පැවති අතර වික්‍රමාන්විත පිතිහරඹයක නිරත වූ පැතුම් නිස්සංක (51) සහ චරිත් අසලංක (68) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61 කදී ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළහ. එහිදී පන්දු 41 කට මුහුණදුන් අසලංක හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 41 කදී වාර්තා වූ නිස්සංකගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත විය.

 විශාල පහර කරා නොගොස් කෙටි ලකුණු රැස්කරමින් ඔවුන් දෙදෙනා නිරතවූ එම උපායශීලී පිතිහරඹය හමුවේ පන්දු 71 කින් ලකුණු 100 සිමාවට ලඟා වූ ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දු 102 කදී ලකුණු 150 සීමාවද පසුකර ගියේය. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 100 සීමාව මෙන්ම 150 සීමාවද පසුකර යෑම සඳහා වැය කළ අඩුම පන්දු සංඛ්‍යාව එය විය. එම තරගයේදී ලකුණු 189 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කොදෙව්වෝ, ඕවර 20 අවසන් වන විට ලකුණු 169 ක් ලබාගත් බැවින් පැතුම්ගේ සහ අසලංකගේ සම්බන්ධතාව නොතිබෙන්නට එහිදී ශ්‍රී ලංකාව පරාජය වීමට පවා ඉ‍ඩ කඩ තිබිණ.

පැතුම් නිස්සංක පිති හරඹයේ නිරත වෙමින් සිටින අයුරු

චරිත් අසලංක පිති හරඹයේ නිරත වෙමින් සිටින අයුරු


අදහස් (1)

අඳුරු වළාවකින් මතුවූ රිදී රේඛා දෙකක්
  • සමන් Tuesday, 09 November 2021 06:53 PM

    දැක්ක හොඳ දෙයක් තමයි සංගා වගේ හොඳ ස්ට්‍රෝන් ප්ලේයර්ස්ල. අනවශ්‍ය ෂොට් වලින් ලකුණු ගන්නවාට වඩා සංයමයෙන් ස්ට්‍රොක්ස් වලින් දෙන්නම ලකුණු ගත්තා. හදිස්සියක් නැහැ... සුබපැතුම්... ආයෙත් වීඩියෝ දාන්න නම් වෙන විදියට හැසිරෙන්නේ නැතිව... සරලව හැමදාම සංගා වගේ පුහුණුවීම් කරලා දියුණු වෙයල්ලා...!!!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.