Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features අතීතයෙන් පාඩම් උගෙන අනාගතය සාරවත් කරගමු

අතීතයෙන් පාඩම් උගෙන අනාගතය සාරවත් කරගමු

editorial - 2021 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද සාජා සිට..)

 

අතීත අසාර්ථකත්වයෙන් පාඩමක් ඉගෙන ගනිමින් අනාගතය සාරවත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට දඟ පන්දු යවන්නන්ට මුහුණදීමේදී මෙන්ම අවසන් ඕවර කිහිපය යැවීමේදී තවත් උපක්‍රමශීලී වීමට  සිදුවනු ඇත. එම අංශ දෙකේදීම දැක්වූ දුර්වලතා ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබාම මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට බෙහෙවින්ම බලපෑවේය.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරගයෙන් පසුව නායක දසුන් ශානකද කියා සිටියේ තම කණ්ඩායමට දඟ පන්දු යවන්නන්ට මුහුණදීමේදී සහ අවසන් ඕවර කිහිපය යැවීමේදී දියුණුකරගත යුතු දේ තවත් බොහොමයක් ඇති බවය. එබැවින් එම අංග කෙරෙහි ඉදිරියේදී වැඩි අවධානයක් යොමු කරන බවද එහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

“පිතිහරඹය සහ අවසන් ඕවරවලදී පන්දු යැවීම තමයි අපිට තව ටිකක් දියුණු කරගත යුතු වෙලා තියෙන්නෙ. විශේෂයෙන්ම දඟ පන්දු යවන්නන් හමුවේ පන්දුවට පහරදීමේදී මේ තරගාවලිය තුළ අපි යම් පසුබෑමක් පෙන්නුම් කරලා තියෙනවා. ඒ නිසා එ් සම්බන්ධයෙන් අපිට විශේෂ අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා.” යැයි දසුන් සඳහන් කළේය.

“පසුගිය මාස කිහිපයේ සිටන්ම අවසන් ඕවරවලදී පන්දු යැවීමද අපිට දියුණු කරගත යුතුම අංගයක් වෙලා තිබුණා. වසර කිහිපයකට කළින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර ඉතාමත් දක්ෂ අයුරින් අවසන් ඕවරවලදී පන්දු යැවුවා. දැන් අපිට ඉන්නවා දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ බිනුර ප්‍රනාන්දු. ඒ අයත්  ඉදිරියේදී කණ්ඩායම වෙනුවෙන් ඒ දේ කරලා පෙන්වයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.” යැයිද දසුන් පැවසීය. 

මෙවර තරගාවලියේ තරග 8 කදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 46 වරක් දැවී ගොස් ඇති අතර ඉන් අවස්ථා 26 කදී වේග පන්දු යවන්නන් හමුවේද, අවස්ථා 16 කදී දඟ පන්දු යවන්නන් හමුවේද, අවස්ථා 4 කදී දුවද්දී දැවී යෑම්වලට හසුවෙමින්ද ශ්‍රී ලංකා පිතිකරුවෝ දැවී ගියහ. ඒ අනුව ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දැවී යෑමේ සම්භාවිතාව වේග පන්දු යවන්නන් හමුවේ 56.52% ක් ලෙසද, දඟ පන්දු යවන්නන් හමුවේ 34.78% ක් ලෙසද, දුවද්දී දැවී යෑම් හමුවේ 8.69% ලෙසද සටහන් විය.  

කෙසේ වුවත් සුපිරි 12 දෙනාගේ වටයේදී පරාජයට පත්වූ තරග 3 ‍දීම ශ්‍රී ලංකා පිතිකරුවෝ ප්‍රතිවාදී දඟ පන්දු යවනන් හමුවේ කැපී පෙනෙන පසුබෑමක් පෙන්නුම් කළහ. එම තරග 3 දී පමණක් ශ්‍රී ලංකා පිතිකරුවෝ අවස්ථා 10 කදී දඟ පන්දු යවන්නන්ගේ ගොඳුරු බවට පත්වූහ. එබැවින් එම තරග 3 දී ශ්‍රී ලංකාව පරාජයට පත් වීමට දඟ පන්දු යවනන් හමුවේ දැක්වූ පසුබෑම බෙහෙවින්ම බලපෑ කරුණක් විය.

ශ්‍රි ලංකාවට එරෙහිව පැවැති තරගයේදී සිය ඕවර 4 ලකුණු 12 කට සීමා කළ ඕස්ට්‍රේලියානු පා දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා, කඩුලු 2 ක්ද දවාගනිමින් තරගයේ වීරයා බවට පත්විය. එහිදී කුසල් පෙරේරා (35) සහ චරිත් අසලංක එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ගොඩනැගූ ලකුණු 63 ක සම්බන්ධතාව බිඳ දැමූ සම්පා, ඉන් අනතුරුව අවිෂ්ක ප්‍රනාන්දුද (4) පිටියෙන් ඉවත් කළේ ශ්‍රී ලංකා ඉන‍ිමේ ‍මැද පෙළ අඩ පණ කරමනි.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 142 කට සීමා කිරීමට වැඩිම දායකත්වයක් දුන් පා දඟ පන්දු යවන ක්‍රීඩක තබ්‍රේෂ් ශම්සි ලකුණු 17 කට කඩුලු 3 ක් දවාගනිමින් තරග‍යේ වීරයා ලෙසද සම්මාන ලැබීය. එහිදී භානුක රාජපක්ෂ (0), අවිෂ්ක ප්‍රනාන්දු (3) සහ වනිඳු හසරංග (4) ආපයින්ම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවූ ශම්ෂි, ශ්‍රී ලංකා පිතිකරුවන්ට කඩුලු අතර සම්බන්ධතා ගොඩ නැගීමට කිසිදු ඉඩක් ලබා නොදුන්නේය.  

එංලගන්තයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ, ඕවර 19 ක් අවසානයේ ලකුණු 137 කට සීමාවීමටද ප්‍රධානතම සාධකය වූයේ දඟ පන්දු යවන්නන් හමුවේ දැක්වූ පසුබෑමය. එහිදී පා දඟ පන්දු යවන්නන් වන ආදිල් රෂීඩ් ලකුණු 19 කට කඩුලු 2 ක් සහ ලයෑම් ලිවිංග්ස්ටන් ලකුණු 18 කට එක් කඩුල්ලක්ද, පිට දඟ පන්දු යවන ක්‍රීඩක මුයින් අලී ලකුණු 21 කට කඩුලු 2 ක්ද, දවාගනිමින් ශ්‍රී ලංකාවේ බලා‍පොරොත්තු සුන්කර දැමූහ.

සුපිරි 12 දෙනාගේ වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ තරග 5 න් 4 කදී අවසන් ඕවර 3 යවා ඇති අතර එම ඕවර 12 දී ලකුණු 145 ක් රැස්කිරීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වී ඇත. එම ඕවර 12 යැවූ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එහිදී දවාගැනීමට හැකි වී ඇත්තේ කඩුලු 4 ක් පමණක් වන අතර ඉන් 3 ක්ම දවාගනු ලැබ ඇත්තේ පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග විසිනි. ඒ අනුව ශ්‍රී ලංකා පන්දු යවන්නන් යවා ඇති අවසන් ඕවර 3 තුළදී ප්‍රතිවාදී පිතිකරුවන්ගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 12.08 ක් ලෙස දැක්විණ.   

අවසන් ඕවර 3 තුළදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව බංග්ලාදේශයේ ලකුණු රැස්කිරීම 32/1 ක් ලෙසද, දකුණු අප්‍රිකාවේ ලකුණු රැස්කිරීම 34/2 ක් ලෙසද, එංගලන්තයේ ලකුණු රැස්කිරීම 41/1 ක් ලෙසද, බටහිර ඉන්දීය කොදෙව් පිලේ ලකුණු රැස්කිරීම 38/0 ක් ලෙසද සටහන් විය. ඒ අනුව අවසන් ඕවර 3 දී වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාදීම සහ කඩුලු ලබාගැනීමට අසමත් වීමද තරගය පරාජය වීමට බොහෙවින්ම බලපෑ කරුණක් ලෙස සඳහන් කළ හැකිය.

 

 


අදහස් (0)

අතීතයෙන් පාඩම් උගෙන අනාගතය සාරවත් කරගමු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.