Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic සන්තුෂ් - සධීර ද්‍රවිඩ සංගමය දිනවති
අන්තර් සමාජ එක්දින ක්‍රිකට්

සන්තුෂ් - සධීර ද්‍රවිඩ සංගමය දිනවති

editorial - 2022 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

සන්තුෂ් ගුණතිලකගේ පන්දු යැවීමෙන් පහළට වැටුණු යුද හමුදා කණ්ඩායම පහසුවෙන්ම පරාජය කළ ද්‍රවිඩ සංගම් ක්‍රීඩකයෝ 2022 අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරගාවලියේ ශූරතාව දිනාගත්හ. කොළඹ එස්.එස්.සී. පිටියේදී අද (01 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව කඩුලු 7 ක පහසු ජයක් ලබාගැනීමට ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය සමත් විය.

දෙවතාවක්ම වර්ෂාවෙන් බාධා පැමිණි හෙයින්, දෙවතාවකදීම ඉලක්කය වෙනස් කිරීමට සිදුවූ මෙම තරගයේදී ද්‍රවිඩ සංගම් පිලේ අවසන් ඉලක්කය වූයේ ඕවර 37 කින් ලකුණු 153 කි. එහෙත් සධීර සමරවික්‍රමගේ අපරාජිත අර්ධ ශතකය නිසා ද්‍රවිඩ සංගම් ක්‍රීඩකයෝ ඕවර 5.4 ක් ඉතිරිව තිබියදී සිය ඉලක්කය කරා අවතීර්ණ වූහ.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම කිසිම පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. එහෙත් ආරම්භක පන්දු යවන්නා වූ සන්තුශ් ගුණතිලක පන්දු හයක් ඇතුළතදී කඩුලු 3 ක් දවාගැනීමෙන් යුද හමුදා පිල ආරම්භයේදීම අමාරුවේ වැටිණ.

යුද හමුදා පිලේ ප්‍රබලතම පිතිකරු දිනේෂ් චන්දිමාල් සිය මාමණ්ඩියගේ අභාවය හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා නොකළේය. මෙම තත්ත්වය නිසා තරගයේ තුන්වැනි ඕවරයේදීම යුද හමුදා ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 13 කට කඩුලු 3 ක් ලෙසිනි. ලක්ෂාන් එදිරිසිංහ (17) සහ සුමින්ද ලක්ෂාන් (28) තරමක් වේලා කඩුල්ලේ රැඳී සිටීමට සමත් වූවත්, නායක තිසර පෙරේරා දැවීයාමත් සමගින් යුද හමුදාවේ 6 වැනි කඩුල්ලත් ලකුණු 84 දී ඇද වැටිණ.

ඕනෑම අර්බුදකාරී අවස්ථාවකට කියාපු මිනිහා වන අසේල ගුණරත්න (59) සහ කඩුලු රකින්නා වන මහේෂ් කුමාර (57) එක්ව ඕවර 20 කදී ලකුණු 74 ක් එකතු කළහ. මහීෂ් තීක්‍ෂණගෙන් තවත් ලකුණු 15 ක් එක්වීමත් සමගින් යුද හමුදා ක්‍රීඩකයෝ අවසන් ඕවරයේදී ලකුණු 198 කට දැවී ගියහ.

ද්‍රවිඩ සංගම් පිලේ ඉලක්කය පහසු වූවත් 15 වැනි ඕවරයේදී වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් එය ඕවර 42 කදී ලකුණු 179 ක් ලෙසින් සංශෝධනය කරන ලදි. නැවත වරක් 30 වැනි ඕවරයේදී වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා එය ඕවර 37 කදී ලකුණු 153 ක් ලෙසින් වෙනස් කෙරිණ.

මෙම බාධාවීම් දෙකේදීම පිටියේ සිටියද, තම අවධානය බිඳ නොගත් සධීර සමරවික්‍රමගේ අගනා පිතිහරඹය නිසා ඕවර 5 ක් ඉතිරිව තිබියදී ද්‍රවිඩ සංගම් පිල අවසන් තරගයෙන් ජයගත්තේය. පන්දු 70 කට මුහුණ දෙමින් ඉවසිලිවන්ත නමුත් සැලසුම් සහගත පිතිහරඹයක නිරත වූ සධීර සිය ඉනිමට ඇතුළත් කළේ හතරේ පහර 4 ක් පමණි.


යුද හමුදා ක්‍රීඩා සමාජය - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 198 යි
(ලක්ෂාන් එදිරිසිංහ 17, සුමින්ද ලක්ෂාන් 28, අසේල ගුණරත්න 59, මහේෂ් කුමාර 57, මහීෂ් තීක්‍ෂණ 15, සන්තුෂ් ගුණතිලක 14/3, ඉසුරු උදාන 31/3)

ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය - ඕවර 31.2 කදී කඩුලු 5 ට 153 යි
(ඩිල්රුවන් පෙරේරා 37, රොන් චන්ද්‍රගුප්ත 13, සධීර සමරවික්‍රම නොදැවී 58, නවෝද් පරණවිතාන 32, අසංක මනෝජ් 27/2)


අදහස් (0)

සන්තුෂ් - සධීර ද්‍රවිඩ සංගමය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.