Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic යාපනය කණ්ඩායමේ හිමිකාරීත්වය ලයිකා සමාගමට

යාපනය කණ්ඩායමේ හිමිකාරීත්වය ලයිකා සමාගමට

editorial - 2021 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) පළමු තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම වූ යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමෙහි නව හිමිකාරීත්වය ශ්‍රී ලංකාවේ උපත ලැබූ බ්‍රිතාන්‍ය ව්‍යවසායකයෙකු වන අලිරාජා සුබාස්කරන් මහතාට අයත් ලයිකා සමාගමට හිමිවී ඇත.

මේ වසරේ පැවැත්වෙන දෙවැනි අයි.පී.එල්. තරගාවලියේ සිට යාපනය කණ්ඩායමේ මෙහෙයුම් කටයුතු ලයිකා සමාගම විසින් සිදුකරනු ලබන අතර කණ්ඩායමේ නම සහ ලාංඡනය ඉදිරියේදී වෙනස්වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ එල්.පී.එල්. තරගාවලියේ සංවිධායකයින් වන අයි.ජී.පී. සමාගම සමඟ ඇතිකරගත් ගිවිසුම් කොන්දේසී වලට අනුකූල නොවීම හේතුවෙන් ආනන්දන් ආනෝල්ඞ් සහ රාහුල් සූඞ් සම හිමිකාරීත්වය දැරූ යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමේ කොන්ත්‍රාත්තුව පසුගිය ජුලී මාසයේදී අවසන් කෙරුණි.

“එල්.පී.එල්. හි ක්‍රමාණුකූල වර්ධනය මම නිරීක්ෂණය කරමින් සිටියා. එය දර්ශනීය ක්‍රීඩා ඉසව්වක් බවට පත්වී ඇති අතර, එල්.පී.එල් තරගාවලිය ක්‍රිකට් දින දර්ශනයේ ප්‍රධාන තැනක් ගනු ඇතැයි මම තදින්ම විශ්වාස කරනවා. ලොව පුරා බොහෝ ශ්‍රී ලාංකිකයින් මෙම තරඟාවලිය දෙස බලා සිටින අතර වඩා හොඳ අරමුදල් සහ නම් දැරූ ක්‍රීඩකයන් ලීගයට එක්වීමත් සමගින් ගෝලීය වශයෙන් තරගාවලිය සාර්ථක වෙනවා. ඒ නිසා මට මෙය අතහැර යාමට අවශ්‍ය නෑ” යැයි ලයිකා සමාගමේ හිමිකරු අලිරාජා සුබාස්කරන් මහතා පැවසීය.

”යාපනය කණ්ඩායම ගිය අවුරුද්දේ තරගාවලිය ජයග්‍රහණය කළ කණ්ඩායම. එවැනි කණ්ඩායමකට ලන්සු තියන්න ඕන කෙනෙක් කැමති. එමෙන්ම ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය ගැන මගේ හැඟීමක් මෙන්ම බැඳීමක්ද තියෙනවා” යැයි යාපනය කණ්ඩායම තෝරාගත්තේ ඇයි දැයි ඔහුගෙන් විමසූ විට සුභාස්කරන් මහතා එසේ පැවසීය.

“ලයිකා සමූහ ව්‍යාපාරයේ සභාපති අලිරාජා සුබාස්කරන් මහතා යාපනය කණ්ඩායමේ අයිතිකරු වශයෙන් පිළිගැනීමට ලැබීම මට ඉමහත් සතුටක්. ඔහුගේ ක්‍රීඩාව කෙරෙහි ඇති ඇල්ම සහ ආසාව නිසා ඔහුට කණ්ඩායම සමඟ සම්බන්ධ වී රසිකයන් සහ එහි සියලුම පාර්ශවකරුවන් ඉදිරියට ගෙන යාමට හැකි වන බව මට විශ්වාසයි” යැයි එල්.පී.එල්. හි නිල ප්‍රවර්ධක වන ඩුබායිහි පිහිටි නිෂ්පාදන දැවැන්තයෙකු වන අයි.පී.ජී සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතා පැවසුවේය.

කණ්ඩායම් 5 කින් සමන්විත තරගාවලිය දෙවැනි වරටත් එළඹෙන දෙසැම්බර් මස 4 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කළේය. කෙසේ වෙතත් තරගාවලියේ තරග පැවැත්වෙන්නේ කුමන ක්‍රීඩාංගණවලදීද යන්න තවමත් තහවුරු කර නොමැති අතර එහි තරග කාලසටහන ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.

මෙම තරගාවලියේ පළමුවැන්න පසුගිය දෙසැම්බරයේදී හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය පසුගිය 24 වැනිදා ආරම්භ වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙබ් ලිපිනය (www.srilankacricket.lk) ඔස්සේ ලබන මස (ඔක්තෝබර්) 5 වැනිදා දවල් 12.00 වන තෙක් විදෙස් ක්‍රීඩකයන්ට දෙවැනි වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව සලසා ඇත.

- 2079


අදහස් (0)

යාපනය කණ්ඩායමේ හිමිකාරීත්වය ලයිකා සමාගමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.