Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සුර්යකුමාර් - ප්‍රිත්වි ෂෝ එංගලන්තයට

සුර්යකුමාර් - ප්‍රිත්වි ෂෝ එංගලන්තයට

editorial - 2021 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයට එරෙහිව තරග 5 ක ටෙස්ට් තරගාවලියකට සූදානම් වෙමින් සිටින ඉන්දීය ටෙස්ට්  කණ්ඩායම ශක්තිමත් කිරීම සඳහා ප්‍රිත්වි ෂෝ සහ සූර්යකුමාර් යාදව් දෙදෙනා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය. එංගලන්තයේ සිටින ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනකු වන ෂුබ්මන් ගිල්, වොෂිංටන් සුන්දර් සහ අවේශ් ඛාන් තිදෙනාම විවිධ ආබාධ වලට ලක්වීම හේතුවෙන් ටෙස්ට් තරගාවලියෙන් මුදාහැර සිටිති.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති එක්දින තරගාවලියේදී ලකුණු 124 ක් ලබාගත් සූර්යකුමාර් යාදව් තරගාවලියේ වීරයා ලෙසින්ද සම්මාන දිනාගත්තේය. තරග තුනේදී ඔහුගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ නොදැවී 31 ක්, 53 ක් සහ 40 ක් වශයෙනි. ප්‍රිත්වි ෂෝ එක තරගයකදී ලකුණු 13 කට දැවී ගිය නමුත් අනෙක් තරග දෙකේදී ලකුණු 43 ක් සහ 40 ක් ලබාගත්තේය.

මෙම ක්‍රීඩකයන් දෙදෙනාම හෙට (25 වැනිදා) ආරම්භ වන විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා කරන්නේද නැද්ද යන්න තවමත් ස්ථිර වී නැත. එංගලන්තයේ සිටින ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනකු ආපසු සියරට පැමිණෙන හෙයින් සුර්යකුමාර් යාදව් සහ ප්‍රිත්වි ෂෝ දෙදෙනාම ඇතැම් විට ශ්‍රී ලංකාවේ සිට එංගලන්තය බලා පියාසර කිරීමටත් ඉඩ තිබේ. ඔවුන් දෙදෙනාගේ ගමන් පහසුකම් ලහි ලහියේම සකස් කෙරෙන බවද වාර්තා වේ.

ෂුබ්මන් ගිල් තරගාවලියෙන් ඉවත් කෙරුණේ ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයෙන් පසුවය. ඔහු මේ වන විටත් ඉන්දියාවට පැමිණ සිටී. තුන්දින පුහුණු තරග වලදී ඉන්දීය පිල වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටි අවේශ් ඛාන් සහ වොෂිංටන් සුන්දර් දෙදෙනාම ඇඟිලි වල ආබාධයන්ට ලක්වූහ. මෙම තරගය බ්‍රහස්පතින්දා (22 වැනිදා) නිමා වූ අතර ඔවුන් දෙදෙනාද නැවතත් ඉන්දියාව බලා පැමිණීමට නියමිතය.

චෙතන් ශර්මාගේ සභාපතිත්වයෙන් යුත් ඉන්දීය තේරීම් කමිටුව හා පැවැති සාකච්ඡාවකදී ඉන්දීය පුහුණුකරු රවී ශාස්ත්‍රි මහතා විසින් සූර්යකුමාර් යාදව් සහ ප්‍රිත්වි ෂෝ දෙදෙනාව ඉල්ලා තිබේ. තුන්වැනි ක්‍රීඩකයකුත් ඉල්ලා ඇතත් ඔහු කවුරුන්ද යන්න තවමත් ස්ථිර වී නැත.

එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය අගෝස්තු මස 4 වැනිදා ආරම්භ වේ.

- 213


අදහස් (0)

සුර්යකුමාර් - ප්‍රිත්වි ෂෝ එංගලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.