Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අනුෂ්කා - සුගන්ධිකා ශ්‍රී ලංකා කාන්තා පිල දිනවති
කන්තා තුන්කොන් තරගාවලිය

අනුෂ්කා - සුගන්ධිකා ශ්‍රී ලංකා කාන්තා පිල දිනවති

editorial - 2025 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය) 

පන්දු යවන්නියන් ලෙසින් කණ්ඩායමට එක්වූ නමුත් අත්‍යවශ්‍යම මොහොතේදී පිත්තෙන් සිය යුතුකම නොපිරිහෙළා ඉටුකළ අනුෂ්කා සංජීවනී (නොදැවී 23) සහ සුගන්ධිකා කුමාරි (නොදැවී 19) එක්ව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති එක්දින තරගයේදී කඩුලු 3 ක ජයක් කරා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කැඳවාගෙන ගියහ. 

ලකුණු 276 ක අභියෝගාත්මක ඉලක්කයක් කරා යද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ හත්වැනි කඩුල්ලත් ලකුණු 238 දී ඇද වැටිණ. එහෙත් 43 වැනි ඕවරයේදී නිලක්‍ෂි ද සිල්වා දැවී යාමෙන් පසු, පන්දු 39 කින් ලකුණු 40 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ අනුෂ්කා සංජීවනී සහ සුගන්ධිකා කුමාරි දෙදෙනා, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියහ. 

මේ දක්වා එක දිගට එක්දින තරග 8 ක් ජයගෙන සිටි ඉන්දීය කාන්තාවෝ 9 වැනි උත්සාහයේදී ශ්‍රී ලංකා කාන්තාවන් හමුවේ පරාජය පිළිගත්හ. 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් විසින් ඉන්දීය කාන්තා කණ්ඩායම එක්දින තරගයකදී පරාජය කළේ වසර 7 කට පසුවය. ශ්‍රී ලංකා කාන්තාවන්ගේ අවසන් ජයග්‍රහණය වාර්තා වී ඇත්තේ 2018 දී කටුනායක කදිරාන ක්‍රීඩාගණයේදීය. 

වසර 25 ක අතීතයක් හිමි ශ්‍රී ලංකා - ඉන්දීය කාන්තා එක්දින තරග 34 කින් ශ්‍රී ලංකාව ලබාගත් තුන්වැනි ජයග්‍රහණය ද මෙයයි. 

එය ක්‍රීඩිකාවන් සියලු දෙනාගේම දායකත්වයෙන් ලබගත්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, සාමූහික ජයග්‍රහණයකි. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතුරින් ඉලක්කම් දෙකකින් ලිවිය නොහැකි ලකුණට දැවී ගියේ දෙව්මි විහංගා පමණි. එහෙත් ඇය පන්දු යවමින් කඩුල්ලක් දවාගත්තාය. 

ඉලක්කය අභියෝගාත්මක වූවත්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැංවූ විශ්මි ගුණරත්න (33) සහ හර්ෂිතා සමරවික්‍රම (53) තරගයේ තාලය වෙනස් කළහ. එතැන් සිට ඉදිරියට ගිය චමරි අතපත්තු, කවීෂා දිල්හාරි සහ නිලක්‍ෂි ද සිල්වා, ඕවර 16.1 කදී (පන්දු 97 කින්) ලකුණු 117 ක් කණ්ඩායමට එක් කළහ. 

විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නිලක්‍ෂි ද සිල්වා පන්දු 33 කින් ලකුණු 56 ක් ලබාග් අතර ඇයගේ ඉනිම හතරේ පහර 5 කින් සහ අලංකාර හයේ පහර 3 කින් සමන්විත විය. තරගයේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ඇද දුන් හර්ෂිතා සමරවික්‍රම පන්දු 61 කින් ලබාගත් ලකුණු 53 හතරේ පහර 5 කින් සමන්විත විය. 

කාසියේ වාසිය අහිමි වූ බැවින්, පළමුවෙන් පන්දුවට පහරදීමට සිදුවූ ඉන්දීය කාන්තාවෝ, තරමක් පරෙස්සමෙන් පන්දුවට පහර දෙමින් සිටියහ. මැද පෙළ පිතිකාරිණියන් සාර්ථක වූවද, 40 වැනි ඕවරය නිමා වනවිට ඔවුන් ලබාගෙන සිටියේ කඩුලු 5 කට ලකුණු 205 කි. 

ඉනිමේ නිමාව ආසන්න වීමත් සමගම ප්‍රවේගකාරී පිතිහරඹයකට පිළිපන් ඉන්දීය කාන්තාවෝ, අවසන් ඕවර 10 දී ලකුණු 70 ක් උදුරා ගත්හ. ඒ අතරවාරයේදී කඩුලු 4 ක් අහිමිවූ නමුත් නිර්භයව පිතිහරඹයට පිවිසීමේ ප්‍රතිඵල මැනවින් ලබාගත් ඉන්දීය කාන්තාවෝ, සිය ඉනිම අවසන් කළේ ඕවරයකදී ලකුණු 5.50 ක වේගයක් රඳවා ගනිමිනි. 

හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සමගින් පන්දු 48 කින් අර්ධ ශතකයක් ලබාගත් රිචා ගෝෂ් හැරෙන්නට වෙනත් කිසිදු පිතිකාරිණියකට අර්ධ ශතකයක් ලබාගත නොහැකි විය. 

එහෙත් ඔව්හු එකිනෙකාට මනා සහයෝගයක් දක්වමින් කඩුලු අතර සම්බන්ධතා ගොඩනැංවූහ. ඉන්දීය ඉනිමේ 1, 3, 4, 5 සහ 6 වැනි කඩුලු අතර පැවැති සම්බන්ධතා සටහන් වූයේ පිළිවෙලින් ලකුණු 51 ක්, 42 ක්, 44 ක්, 36 ක් සහ 52 ක් වශයෙනි. 

මේ අතරවාරයේදී සුගන්ධිකා කුමාරි (44/3) සහ චමරි අතපත්තු (43/3) සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් තම තමන්ගේ ඕවර 10 ම සම්පූර්ණ කළහ. 

ඉන්දීය කාන්තාවෝ  - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 275 යි
(ප්‍රාතිකා රාවල් 35, ස්මිත්‍රි මන්දනා 18, හර්ලීන් ඩියොල් 29, හර්මන්ප්‍රීත් කෞර් 30, ජෙමීමා රොඩ්ඩි්‍රගුවස් 37, රිචා ගෝෂ් 58, දීප්ති ෂර්මා 24, කාශ්වී ගෞතම් 17, ස්නේ රානා 10, සුගන්ධිකා කුමාරි 44/3, චමරි අතපත්තු 43/3)

ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 49.1 කදී කඩුලු 7 ක් දැවී 278 යි
(හසිනි පෙරේරා 22, විශ්මි ගුණරත්න 33, හර්ෂිතා සමරවික්‍රම 53, චමරි අතපත්තු 23, කවීෂා දිල්හාරි 35, නිලක්‍ෂි ද සිල්වා 56, අනුෂ්කා සංජීවනී නොදැවී 23, සුගන්ධිකා කුමාරි නොදැවී 19, ස්නේ රානා 45/3, 

ප්‍රාතිකා රාවල් සහ ස්මිත්‍රි මන්දනා 

 

ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි


අදහස් (0)

අනුෂ්කා - සුගන්ධිකා ශ්‍රී ලංකා කාන්තා පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.