Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වසර 30 කට පසු කැන්ගරුවන් බිම හෙළති
සිව්වැනි එක්දින තරගය

වසර 30 කට පසු කැන්ගරුවන් බිම හෙළති

editorial - 2022 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

 

වසර 30 කට පසුව, ශ්‍රී ලංකාවේදී පැවැති එක්දින තරගාවලියකදී ඕස්ට්‍රේලියාව පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම, තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය, තරගයක් ඉතිරිව තිබියදීම ජය ගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) පැවැති සිව්වැනි එක්දින තරගයේ අවසන් පන්දුවේදී ලකුණු 4 ක ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම 3-1 ක් ලෙසින් එක්දින තරගාවලියේදී පෙරමුණ ගත්තේය.

ශ්‍රී ලංකාවේදී පැවැති එක්දින තරගාවලියකදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ඕස්ට්‍රේලියාව පරාජය කළේ 1992 දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙනි. ඇලන් බෝඩර්, එදා ඕස්ට්‍රේලියානු පිලේ නායකයා විය.

එමෙන්ම තරග 5 කන් සමන්විත එක්දින තරගාවලියකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් විසින් ඕස්ට්‍රේලියානුවන් පරාජය කරන ලද පළමු අවස්ථාවද මෙයයි. වසර 2004 සිට 2016 දක්වා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරග මාලා 4 ක් පවත්වා ඇති අතර එම තරගමාලා හතරේදීම ජයග්‍රාහකයන් වූයේ ඕස්ටේ්‍රලියාවයි.

අද ලකුණු 259 ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු පිලට, ජයග්‍රහණය සඳහා අවසන් ඕවරයේදී ලකුණු 19 ක් ලබාගත යුතුව තිබිණ. ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට රැස්ව සිටි 35,000 කට අධික ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක් මවිතයට පත්කරමින් අවසන් ඕවරයේදී පන්දුව අතට ගත් දසුන් ශානකගේ පන්දු 5 කින් ඕස්ටේ්‍රලියානුවෝ ලකුණු 14 ක් ලබාගත්හ. තරගය ජයගැනීමට නම් අවසන් පන්දුවේදී හයේ පහරක් නැතහොත් ලකුණු 5 ක් අවශ්‍යව තිබිණ.

එහෙත් දසුන්ගේ අවසන් පන්දුවට මැතිව් කුනේමන් ගැසූ පහරින් ඉහළ ගිය පන්දුව, එක්ස්ට්‍රා් කවර්ස් හි සිටි චරිත් අසලංක විසින් රැකගනු ලැබීමත් සමගම ශ්‍රී ලංකාවට තරගයේත්, තරගාවලියේත් ජය හිමිවූවා පමණක් නොව, දසුන් ශානක ද සැනසුම් සුසුම් හෙළුවේය.
ඕස්ට්‍රේලියානු පිතිකරු ලයිස්තුව සැලකිල්ලට ගැනීමේදී ලකුණු 259 ක් යනු එතරම් අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් නොවේ.

වරින් වර කඩුලු දැවී ගිය නමුත්, ඩේවිඩ් වෝනර් (99) ප්‍රමුඛ ඕස්ට්‍රේලියානුවෝ, ඕවරයකදී ලකුණු 5 කට ආසන්න වේගයක් නිශ්චිතව පවත්වා ගනිමින්, ඉලක්කය හඹා ගියහ. එහෙත් 37 වැනි ඕවරයේදී ග්ලෙන් මැක්ස්වෙල් දවාගැනීමට මහේෂ් තීක්‍ෂණ තුන්වැනි විනිසුරුවරයාගේ සහාය ඉල්ලීම විශිෂ්ට ප්‍රතිඵල ගෙනාවේය.

තීක්‍ෂණගේ ඉල්ලීම තුන්වැනි විනිසුරුවරයාගෙන් අනුමත වීමත් සමගින් පන්දු 9 ක් ඇතුළත පිතිකරුවන් තිදෙනකු දැවී යාම නිසා තරගයේ වාසිය යළි ශ්‍රී ලංකාව වෙතට හැරිණ. එහි ප්‍රතිඵලය වූයේ 189 කට කඩුලු 4 ක් ව තිබූ ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව, පන්දු 8 ක් ඇතුළතදී ලකුණු 3 ක වෙනසක් සහිතව කඩුලු 7 ක් බවට පත්වීමයි. එතැන් සිට නැවත වරක් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ තරගය සියතට ගත්හ.
 
අවසන් ඕවරයේදී මැතිව් කුනේමන් කළ ප්‍රහාරය නොවන්නට, ශ්‍රී ලංකාවට වඩාත් පහසු ජයක් අත්කරගන්නට ද තිබිණ.

එක්දින ශ්‍රේණිගත කිරීමේදී තුන්වැනි ස්ථානය හිමි කණ්ඩායම වශයෙන් ඕස්ටේ්‍රලියානුවන් සතු ගෞරවය රැකගැනීමේ හුදෙකළා සටනක නිරතව සිටි ඩේවිඩ් වෝනර් (99) ධනංජය ද සිල්වාගේ පන්දුවකින් දැවී ගියේ නිරෝෂන් දික්වැල්ලගේ අති විශිෂ්ට ස්ටම්ප් කිරීමකට හසුවීමෙනි. සිය ඕවර 10 ලකුණු 39 කට සීමාකරගත් ධනංජය ද සිල්වා කඩුලු 2 ක් දවාගත්තේය.

පිට පිටම වසර දෙකකදී, වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩකයා වූ චරිත් අසලංක (2015 සහ 2016) තවමත් 24 හැවිරිදි ක්‍රීඩකයෙකි. එහෙත් තරගයේ වීරයාගේ පිතිහරඹය බොහෝ පරිණත ලක්‍ෂණ විදහා දක්වන්නකි. අසලංක ලබාගත් අලංකාර ශතකය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 49 කදී ලකුණු 258 ක් ලබාගත්තේය.

ඉනිම නිමා වීමට ඕවර 3ක් තිබියදී චරිත් අසලංක ලකුණු 110 කට දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූයේ ලකුණු 02 ක් පමණි. අතිශය දුර්වල දුවද්දී දැවීයාම් දෙකක් නොවන්නට, ඉතා පහසුවෙන්ම ලකුණු 270 ඉක්වා යා හැකිව තිබූ අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිළිහී ගියේය.

අසලංකගේ වෙහෙසකර ඉනිම නිමාවූයේ ඩීප් මිඩ් විකට්හි සිටි ඕස්ටේ්‍රලියානු නායකයා රැකගත් උඩපන්දුවකිනි. පන්දු 106 කට මුහුණ දෙමින්, අසලංක ලබාගත් ලකුණු 110 ට හතරේ පහර 10 ක් සහ හයේ පහරක් ඇතුළත් වූවද, වඩාත් අවධානයට ලක්වූයේ ඔහුගේ හයේ - හතරෙ පහර නොව, පන්දු රකින්නන් අතර පරතරයෙන් පන්දුව යවමින් ලබාගත් ලකුණුය. ඒ බොහෝ අවස්ථාවලදී පන්දුව හතරේ සීමාව කරා ඇදී ගියේය.

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 101 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ධනංජය ද සිල්වා (60) සහ චරිත් අසලංක (110) දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායම වැටුණු වළෙන් ගොඩගත්හ. ධනංජය ලකුණු 60 කට දැවී යාමෙන් පසුවත් සිය පිතිහරඹය ඉදිරියට ගෙන ගිය අසලංක, සිය මංගල එක්දින ශතකය ලබාගත්තේ මුහුණ දුන් 99 වැනි පන්දුවේදී මැතිව් කුනේමන් හමුවේ තනි ලකුණක් ලබාගනිමිනි.

ධනංජය දැවී යාමෙන් පසු, දුනිත් වෙල්ලාලගේ සමග එක්වූ අසලංක, 6 වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 55 ක් එක්කරමින්, අවසන් ඕවර 10 දී ප්‍රහාරයට ඉඩදීම සඳහා කදිම වේදිකාවක් සකස් කර දුන්නේය. එහෙත් දුවද්දී දැවීයාම් හේතුවෙන් අවසන් ප්‍රහාරය අසාර්ථක විය.

වමත් එක්දින තරග 3 කට පමණක් ක්‍රීඩා කර ඇති දුනිත් වෙල්ලාලගේ, පළපුරුදු සීමිත ඕවර ක්‍රීඩකයන් වන වනිඳු හසරංග සහ චාමික කරුණාරත්න දෙදෙනාටම ඉදිරියෙන්  පිටියට එවනු ලැබිණ. හසරංග සහ චාමික දෙදෙනා මෙන් එන එන පන්දුවට තඩිබාන්නේ නැතිව, පන්දු රකින්නන් අතර පරතරය සොයාගනිමින් තනි ලකුණු සහ ද්විත්ව ලකුණු ලබාගැනීමට වෙල්ලාලගේ සමත්කම් දක්වන්නෙකි. ඔහු අද දිනයේ ඒ බව අපූරුවට පෙන්වා දුන්නේය.

ලෝකයේ අංක 1 හිමි ටෙස්ට් පන්දු යවන්නා වන පැට් කමින්ස්ට වෙල්ලාලගේ මුහුණ දුන් ආකාරය අනාගතය වෙනුවෙන් බලාපොරොත්තු දල්වන්නකි. ලකුණු 19 ක් ලබාගැනීමට පන්දු 35 කට මුහුණ දුන් නමුත්, ලකුණු 15 ක් ඇතුළත ඉදිරිපෙළ පිතිකරුවන් දෙදෙනකු දැවී ගොස් තිබුණ අවස්ථාවේදී අවශ්‍ය වූයේ සම්බන්ධතාවක් විනා කඩුල්ලක් නොවේ. වෙල්ලාලගේ එම අවස්ථාව හොඳින් ග්‍රහණය කරගත්තේය.

තරගාවලියේ අවසන් එක්දින තරගය ලබන සිකුරාදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතව ඇත.

(ඡායාරූප - ගයාන් අමරසේකර)


අදහස් (0)

වසර 30 කට පසු කැන්ගරුවන් බිම හෙළති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.