Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හොඳ මිනිස්සුන්ගේ සුන්දරම මොහොත

හොඳ මිනිස්සුන්ගේ සුන්දරම මොහොත

editorial - 2021 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

එය අලියාත් කටුස්සාත් අතර සටනක් යයි බොහෝ දෙනා හැඳින්වූහ. අලියා ඇඟපතින් ලොකු මහත් වූවාට, හොඬවැල තබාගන්නේ කටුස්සෙකුට ළඟා විය නොහැකි දුරකිනි. ඒත් මේ වතාවේදී කටුස්සා හොඬවැල දිගේ ඇතුලටම ගියේය. මෙල්ල වෙනවා විනා, අලියාට කරකියාගත හැකි දෙයක් නොවීය.

වත්මන් ඉන්දීය කණ්ඩායම, ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම ආකාරයන්ගෙන් ලෝකයේ බලසම්පන්නම කණ්ඩායම බවට විවාදයක් නැත. එය ක්‍රීඩක දස්කම් වල සිට ක්‍රීඩාවේ ආර්ථිකය දක්වාත් පැතිරී යන්නකි.

එසේ වුවත්, පිටියේදී තරග වදින මහත්මා ලීලාවත්, පරාජය බාරගන්නා නිහතමානී විලාසයත් නිසා නවසීලන්ත කණ්ඩායම ලෝකය පුරා ක්‍රිකට් විචාරකයන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වී සිටියේය. එබැවින් ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයේදී නවසීලන්ත පිල ජයග්‍රහණය කිරීම “හොඳ මිනිස්සුන්ගේ සුන්දරම මොහොත” යයි ලෝ පුරා ක්‍රිකට් විචාරකයෝ එක හඬින් කෑ ගසා කීවෝය.

“ඒ ජයග්‍රහණය ලැබීමට නියම සුදුස්සෝ ඔවුන්ම තමා”
“සැබෑ ජයග්‍රාහකයා වන්නේ පරාජයේදී නොසැළී සිටින්නායි”

තරගයේ විස්තර විචාරයේ යෙදී හුන් සුනිල් ගවස්කාර්, ඉයන් බිෂොප්, මයිකල් ඇතර්ටන්, කුමාර් සංගක්කාර සහ නසාර් හුසේන් යන මහත්වරුන් පමණක් නොව, සදම්ප්ටන් නුවරින් සැතපුම් දහස් ගණනක් ඈතින් සිටි රමීස් රාජා සහ රොෂාන් අබේසිංහ යන මහත්වරුන්ගේත් දෙතොලගට මෙවැනි වදන් එක පෙළට ගලා ආවේය.

ලබාගත් ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉහළම ආඩම්බරය හිමි නවසීලන්තයේ අගමැතිනිය වන ජසින්ඩා ආර්ඩ්න් මහත්මිය උදම් ඇනුවේ වදන් කිහිපයකිනි.

“තමන්ගේ ක්‍රීඩාවේ ඉහළම මට්ටමේ සිටි කණ්ඩායමක අනභිබවනීය දස්කමක්. කේන් විලියම්සන් වගේම කණ්ඩායම් කළමණාකාරීත්වය විසින් නවසීලන්ත ජාතිකයන් බෙහෝ දෙනකුට ආඩම්බර විය හැකි අද්වීතීය කණ්ඩායමක් නිර්මාණය කර තිබෙනවා” යයි ඇය කීවාය.

එංගලන්තයේ සදම්ප්ටන් නුවරදී පැවැති අවසන් මහ තරගය නවසීලන්තයේ දිගු රාත්‍රිය පුරා රූපවාහිනියෙන් විකාශය කෙරිණ. ඇතැම් අවස්ථාවලදී උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ අගයන් කරා ඇදී ගියත්, නවසීලන්ත ක්‍රිකට් ලෝලීහු සිය නිදිබර දෑස් රූපවාහිනී තිරයට අලවා තැබූහ. එහෙත් අවසන් වරට පැවැති එක්දින ලෝක කුසලාන අවසන් මහ තරග දෙකේදීම (2015 - මෙල්බර්න් නුවරදී සහ 2019 ලෝඩ්ස් හිදී) තමන්ගේ කණ්ඩායම පරාජය වූ ආකාරයද ඔවුන්ට මතක තිබිණ.

ඒ සම්බන්ධයෙන් නවසීලන්ත රග්බි ක්‍රීඩකයන් කීවේ වෙනම කතාවකි.

තුන් වතාවක්ම රග්බි ලෝක කුසලාන දිනා ඇති කළු ඇඳුම්කාරයන් කීවේ 2015 දී සහ 2019 දී සිදුවූයේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හොඳම අවස්ථාව සඳහා පෙර සූදානමක් ලබාගත් බවයි. තමන්ගේ වෘත්තිය ලෙසින් රග්බි ක්‍රීඩාව කළද ක්‍රිකට් ක්‍රීඩාවේ උච්චතම අදියර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව බව ඔවුහු හොඳින්ම දනිති.

“කළු තොප්පිකරුවනි, ක්‍රිකට් ඉතිහාසයේම දිනාගැනීමට තිබූ හොඳම තෑග්ග, ටෙස්ට් ලෝක ශූරතාව, දිනාගැනීම සම්බන්ධයෙන් උණුසුම් සුබපැතුම්. ඔබ විශාල හීන දැක්කා. ඒ වගේම අපව ආඩම්බරයට පත්කළා” යයි නවසීලන්ත රග්බි කණ්ඩායමේ නිල ට්විටර් පිටුවේ සටහනක් තබා තිබිණ.

(නවසීලන්ත රග්බි කණ්ඩායම කළු ඇඳුම්කාරයන් ලෙසින් හැඳින්වෙන අතර නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හැඳින්වෙන්නේ ‘කළු තොප්පිකාරයන් ලෙසිනි)

ක්‍රිකට් පිටියේ සංසරණය වන දැවැන්ත මුදල් කන්දරාවත්, ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇති ගිණිය නොහැකි අවස්ථා ගණනාවත් හේතුවෙන් ඉන්දියාව සහ නවසීලන්තය හැඳින්වෙන්නේ අලියාත් කටුස්සාත් ලෙසිනි. නවසීලන්තයේ සමස්ත ජනගහණය වන මිලියන 5 කින් තෝරා ගත් 11 දෙනෙක්, එමෙන් 260 ගුණයක් වූ මිලියන 1300 කින් තෝරාගත් කණ්ඩායමක් සමග තරග වැදිණ.

වේදිකාව වූයේ ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයයි. ජයග්‍රාහකයා වූයේ නවසීලන්තයයි.

නවසීලන්තයට සුබපැතුම් එක්කළේ පිටස්තරයන් පමණක් නොවේ. ඉන්දීයාවේ හිටපු ටෙස්ට් නායකයා මෙන්ම මෑතකදී සියවසේ විශිෂ්ටතම පිතිකරුවා ලෙසින්ද සම්මානයට පාත්‍ර වූ සචින් තෙන්ඩුල්කාර්ද කේන් විලියම්සන්ගේ කණ්ඩාමට සුබපැතුම් එකතු කරමින් ට්විටර් සටහනක් තබා තිබිණ.

“කළු තොප්පිකාරයිනි, ලෝක ශූරතාව දිනාගැනීම සම්බන්ධයෙන් සුබපැතුම්. වඩාත් දක්‍ෂ කණ්ඩායම නුඹලායි” යයි තෙන්ඩුල්කාර් ලියා තිබණ. ඒ සම්බන්ධයෙන් හිටපු ඉන්දීය පිතිකරු වී.වී.එස්. ලක්ෂ්මන්, තර්කයකින් තොරවම, එකඟ වී සිටියේය.

නවසීලන්ත කණ්ඩායමේ සිටින දක්‍ෂතම නැගී එන ක්‍රීඩකයා වූ කයිල් ජැමීසන් තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ ඔහු කළ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙනි. කඩුලු 5 ක් දවාගනිමින් ඉන්දීය පළමු ඉනිම ලකුණු 217 කට සීමාකළ ජැමීසන්, තරගයේ අවසන් දිනයේදී පන්දු 5 ක් ඇතුළත චෙටේස්වාර් පුජාරා සහ විරාට් කෝලි දෙදෙනාම පිටියෙන් ඉවත් කර නවසීලන්තයේ ජය මාවත විවර කර දුන්නේය.

කයිල් ජැමීසන් ඔහුගේ ටෙස්ට් දිවිය ආරම්භ කර තවමත් ගතවී ඇත්තේ යන්තම් අවුරුද්දක් පමණි. කොරෝනා වසංගත කාලයේදී, සියලු දුෂ්කරතා මැදින්, ටෙස්ට් තරග 8 කට පමණක් මුහුණ දුන්, අඩි 7 කට ආසන්න උසකින් යුත්, මෙම දැවැන්ත පන්දු යවන්නා මෙතෙක් දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 46 කි. කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 14.00 ක් බව අදහා ගැනීමටත් බැරිය.

මේ අතර ඕස්ට්‍රේලියානු නායක ටිම් පේන්ගේ ට්විටර් සටහන් නිසා ඔහු නවසීලන්ත ජාතිකයන්ගේ සමච්චලයට ලක්ව සිටී. ටිම් පේන් කියා සිටියේ අවසන් මහ තරගයේදී ඉන්දීය පිල පහසු ජයක් ලබාගනු ඇති බවයි.

“කව්රුහරි ටිම් (පේන්) ගැන හොයලා බැලුවාද ? මම නම් මේ වෙලාවේ මිනිහාට අනුකම්පා කරනවා” යයි නවසීලන්ත ක්‍රිකට් ලෝලියකු කියා තිබිණ.

කණ්ඩායමේ වඩාත්ම පළපුරුද පිතිකරුවන් දෙදෙනා වන කේන් විලියම්සන් සහ රොස් ටේලර් තමන්ගේ අත්දැකීම් සියල්ලම නිසි පරිදි යොදාගනිමින්, තමන්ට වඩා තරුණ පිතිකරුවන් පිටියට නොකැඳවාම තරගය ජයග්‍රහණයෙන් අහවර කළහ.

මිඩ් විකට් කලාපය හරහා යන පරිදි රොස් ටේලර් ගැසූ “ෆිලික්” පහර තවත් දශක ගණනාවක් යනතුරු නවසීලන්ත වැසියන්ගේ මතකයේ රැඳී තිබෙනු නිසැකය.

- සැකසුම : දමින්ද විජේසූරිය

 


අදහස් (1)

හොඳ මිනිස්සුන්ගේ සුන්දරම මොහොත
  • W. A. Silva Thursday, 01 July 2021 05:05 PM

    සුබපැතුම්...!!!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.