Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දිමුත් හුදෙකලා සටනක
වෙලිංටන් ටෙස්ට් තරගය

දිමුත් හුදෙකලා සටනක

editorial - 2023 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළමු ඉනිමේ 9 වැනි කඩුල්ල දැවී යන තුරුත් තම කණ්ඩායම ගලවාගැනීම සඳහා නායක දිමුත් කරුණාරත්න බලවත් සටනක නිරත වූවද, වෙලිංටන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (19 වැනිදා) තේ පානයටත් පෙරම, ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 164 කට අවසන් විය. ලකුණු 416 ක දැවැන්ත අවාසියකට මුහුණ දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම, පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දෙමින්, අද සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 113 ක් ලබා සිටියේය.

තරගයේ තවත් සම්පූර්ණ දින දෙකක් ඉතිරිව තිබෙන අතර නවසීලන්ත පිතිකරුවන් නැවතත් පිටියට කැඳවීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 303 ක් ලබාගත යුතුව තිබේ.

ලකුණු 26 කට කඩුලු 2 ක් බිඳ වැටී තිබියදී තුන්වැනි දින පෙරවරුවේ ක්‍රීඩාව ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද යැවුණු දෙවැනි ඕවරයේදීම තුන්වැනි කඩුල්ලත් අහිමි කරගත්තේය. පෙරදා රාත්‍රියේ මුරකරු පිතිකරු වූ ප්‍රභාත් ජයසූරිය සිය ඉනිමට තවත් ලකුණක් එකතු නොකරම දැවී  ගියේය.

බලවත්ම හානිය වූයේ ඇන්ජලෝ මැතිව්ස් එක ලකුණකටත්, ධනංජය ද සිල්වා ලකුණු නොලබාත් දැවී යාම හේතුවෙනි. මේ අතරවාරයේදී දිනේෂ් චන්දිමාල් (37) සමගින් එක්වූ නායකයා, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනංවමින් 100 කඩයිම පැනගත්තේය.

කෝඩුකාර නිෂාන් මධුෂ්ක සමගින් එක්ව තවත් ලකුණු 40 ක සම්බන්ධතාවක් ගොඩනංවා ගැනීමට දිමුත් සමත් වූවත්, මැතිව් හෙන්රිගේ පන්දුවක් පිටියේ ඉදිරියෙන් පතිතව, ඉපිළීමේදී එයින් ගැලවීමට කෝඩුකාරයාට නොහැකි විය. පිත්තේ මිටට ආසන්නයේ, කොණක වැදුණු පන්දුව ස්ලිප් හි සිටි මයිකල් බ්‍රේස්වෙල්ගේ දෑත් අතර සැඟව ගියේය.
දිනේෂ් චන්දිමාල්ගේ දැවී යාමත් සමගින් අවසන් කඩුලු 6 ම ලකුණු 50 ක් ඇතුළත බිඳ වැටිණ. ඒ වෙනුවෙන් ගතවූයේ පැයකට ආසන්න කාලයකි.

නවසීලන්ත පිතිකරුවන් පන්දුවට පහර දෙද්දී, පන්දු යවන්නන්ට අපායක් බඳු වූ වෙලිංටන් තණතීරුව, ශ්‍රී ලංකා පිතිකරුවන් පිටියට පිවිසීමත් සමගින් පන්දු යවන්නන්ට කෙළි බිමක් විය. ඊට ප්‍රධාන හේතුවක් වූයේ නායක දිමුත් කරුණාරත්න හැරුණු විට සෙසු පිතිකරුවන්ගේ හිතුවක්කාර පහර තේරීමයි. ශ්‍රී ලංකා මුල් ඉනිමේදී ‘බිංදුමතීලා’ හතර දෙනෙක්ම සිටියහ.

දෙවැනි ඉනිම වෙනුවෙන් පිති අතට ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තේ පානය වන විට කිසිවකු නොදැවී ලකුණු 12 ක් ලබා සිටියේය.

තේ පානයෙන් පසුව  ස්ථාවර ලෙසින් පන්දුවට පහර දුන් දිමුත් කරුණාරත්න (51) සහ කුසල් මෙන්ඩිස් (නොදැවී 50) වඩාත් පරෙස්සමෙන් ලකුණු සංඛ්‍යාව ඉදිරියට තල්ලු කළහ.


අදහස් (0)

දිමුත් හුදෙකලා සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.