Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැතිව්ස් - කුසල් ජනිත් සීමිත ඕවර සංචිතවලට
නවසීලන්ත සංචාරය

මැතිව්ස් - කුසල් ජනිත් සීමිත ඕවර සංචිතවලට

editorial - 2023 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලි සඳහා නම් කර ඇති සංචිතවලට ප්‍රවීන පිතිකරුවන් දෙදෙනකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් ජනිත් පෙරේරා කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඔවුන් දෙදෙනාගේ ආගමනයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගි වූ සීමිත ඕවර තරගාවලීන්හිදී ලකුණු අතරට පිවිසීමට අපොහොසත් වූ අවිෂ්ක ප්‍රනාන්දුට සහ භානුක රාජපක්ෂට සංචිතයේ ස්ථාන අහිමිවී ඇත.

එක්දින සංචිතයේ ඉඩක් හිමි නොවුණද පසුගිය කාල වකවානුව තුළ දිගින් දිගටම ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම නියෝජනය කළ භානුක, අවසන් වරට ක්‍රීඩා කළ විස්සයි-20 තරග 10 දී රැස්කිරීමට සමත්ව ඇත්තේ ලකුණු 137 ක් පමණි. එහි සාමාන්‍යය 15.22 ක් ලෙස සටහන් වේ. දිගින් දිගටම පිතිකරුවකු ලෙස ආසාර්ථක වීම හේතුවෙන් ඔහුට නවසීලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයේ ස්ථානයක් අහිමිවී ඇත.

දණහිසේ ආබාධ තත්ත්වයකින් සුවය ලබා වසරකට පමණ පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ අවිෂ්ක, ඉන්දියාවට එරෙහිව ඉකුත් ජනවාරි මාසයේදී පැවැති එක්දින තරගාවලියේදී මෙන්ම විස්සයි-20 තරගාවලියේදීද අසාර්ථක විය. ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කළ එක්දින තරග තුනේදී පිළිවෙලින් ලකුණු 5 කට, 20 කට සහ එක් ලකුණකට දැවී ගිය අවිෂ්කට, ඔහු සහභාගි වූ විස්සයි-20 තරගයේදී ලබාගත හැකි වූයේද එක් ලකුණක් පමණි.

භානුකට සහ අවිෂ්කට එසේ ශ්‍රී ලංකා සීමිත ඕවර සංචිතයන්හි ස්ථාන අහිමි වෙද්දී, ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් පෙරේරා යළිත් සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත. එහිදී මැතිව්ස් එක්දින සංචිතයටද, කුසල් විස්සයි-20 සංචිතයටද ඇතුළත් කිරීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ. මැතිව්ස් අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2021 වසරේ මාර්තු මාසයේදී වන අතර කුසල් අවසන් වරට විස්සයි-20 තරගයකට ක්‍රීඩා කර ඇත්තේ එම වසරේම නොවැම්බර් මාසයේදීය.

ඔවුන් දෙදෙනාට අමතරව තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා නොමැති තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේට (එක්දින) සහ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේට (විස්සයි-20) ශ්‍රී ලංකා සීමිත ඕවර සංචිතවල දොරටු විවර කර දීමටද තේරීම් කමිටුව කටයුතු කර තිබේ. වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරගේ ආබාධ තත්වය තවමත් පූර්ණ වශයෙන් සුව අතට හැරී නොමැති බැවින්  ඔහු වෙනුවට ප්‍රමෝද් මධුෂාන් විස්සයි-20 සංචිතයටත්, මතීෂ පතිරණ එක්දින සංචිතයටත් ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත.


ශ්‍රී ලංකා එක්දින සංචිතය
දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, සහන් ආරච්චිගේ, නුවනිඳු ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ළහිරු කුමාර, ප්‍රමෝද් මධුෂාන්, දිල්ෂාන් මධුෂංක, චාමික කරුණාරත්න සහ මතීෂ පතිරණ


ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය
දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, කුසල් පෙරේරා, නුවනිඳු ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ළහිරු කුමාර, දිල්ෂාන් මධුෂංක, චාමික කරුණාරත්න, ප්‍රමෝද් මධුෂාන්, ලසිත් කෲස්පුල්ලේ සහ මතීෂ පතිරණ

 


අදහස් (0)

මැතිව්ස් - කුසල් ජනිත් සීමිත ඕවර සංචිතවලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.