Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රියමාල්ගේ පිතිහරඹය ගාල්ල දිනවයි
නැෂනල් සුපර් ලීග්

ප්‍රියමාල්ගේ පිතිහරඹය ගාල්ල දිනවයි

editorial - 2022 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘නැෂනල් සුපර් ලීග්’ එක්දින තරගාවලිය යටතේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අද (24 වැනිදා) පැවැති තරගයකදී කොළඹ කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 214 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල ක්‍රීඩකයෝ ඕවර 42.4 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී අගනා පිතිහරඹයක නිරත වූ ප්‍රියමාල් පෙරේරා පන්දු 122 කදී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 98 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

ලකුණු 93 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී රමේෂ් මෙන්ඩිස් (37) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 125 කදී ලකුණු 110 ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ප්‍රියමාල් සමත් විය. පන්දු 62 කදී වාර්තා වූ රමේෂ්ගේ ඉනිමට හතරේ පහර 2 ක් අන්තර්ගත විය. ආරම්භක පිතිකරු ධනංජය ලක්ෂාන් පන්දු 34 කින් ලකුණු 29 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායමට මහීෂ් තීක්ෂණ (42/3) ප්‍රමුඛ ගාල්ල පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 47.3 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 213 ක් පමණි. එහිදී තීක්ෂණට අනගි සහායක් දුන් ධනංජය ලක්ෂාන් සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 බැගින් බිඳහෙළුහ.

කොළඹ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භ පිතිකරු ක්‍රිෂාන් සංජුල පන්දු 81 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 46 ක් රැස්කළේය. කුසල් මෙන්ඩිස් (37) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සංජුල, ඉන් නොනැවතී නුවනිඳු ප්‍රනාන්දු (30) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.

පන්දු 27 කදී වාර්තා වූ කුසල්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 38 කදී වාර්තා වූ නුවනිඳුගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය. කණ්ඩායමේ වැඩ බලන නායක සම්මු අශාන් පන්දු 39 කදී හතරේ පහරක් සමග ලකුණු 21 ක්ද, අෂේන් බණ්ඩාර පන්දු 50 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 34 ක්ද රැස්කළහ.


ගාල්ල පිල - ඕවර 42.4 කදී කඩුලු 7 ක් දැවී 215
(ධනංජය ලක්ෂාන් 29, ප්‍රියමාල් පෙරේරා නොදැවී 98, හිමාෂ ලියනගේ 18, රමේෂ් මෙන්ඩිස් 37, ප්‍රභාත් ජයසූරිය 40/2, කවිඳු නදීෂාන් 43/2)

කොළඹ පිල - ඕවර 47.3 කදී සියලු දෙනා දැවී 213
(කුසල් මෙන්ඩිස් 37, ක්‍රිෂාන් සංජුල 46, නුවනිඳු ප්‍රනාන්දු 30, සම්මු අෂාන් 21, අෂේන් බණ්ඩාර 34, කලන පෙරේරා නොදැවී 15, මහීෂ් තීක්ෂණ 42/3, ධනංජය ලක්ෂාන් 25/2, රමේෂ් මෙන්ඩිස් 31/2)


අදහස් (0)

ප්‍රියමාල්ගේ පිතිහරඹය ගාල්ල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.