Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියානුවන්ට කැපූ වළේ ශ්‍රී ලංකාව වැටෙයි
වෝන් - මුරලි කුසලාන

ඕස්ට්‍රේලියානුවන්ට කැපූ වළේ ශ්‍රී ලංකාව වැටෙයි

editorial - 2022 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

මුල් ඉනිමේ අවාසිය අකමකා දැමීමට ලකුණු 14 ක් මෑතින් සිටියදී පන්දුව අතට ගත් ට්‍රැවිස් හෙඩ් තරගය ඔලුවෙන් සිටවූයේය. ටෙස්ට් තරග 26 ක් ක්‍රීඩා කර ඇති නමුත්, අද දක්වා ටෙස්ට් කඩුල්ලක් දවාගෙන නොතිබූ පිට දඟ පන්දු යවන්නා, සිය පළමු ඕවරයේදීම දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා පිටියෙන් ඉවත් කරමින්, ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 10 ක දැවැන්ත ජයක් කරා යාමට ඕස්ට්‍රේලියානු පිලට පාර කපා දුන්නේය. 

ලකුණු 109 ක අවාසියකට මුහුණ දෙමින් සිටියදී දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම 18 වැනි ඕවරය නිමාවේදී කඩුලු 4 ක් දැවී ලකුණු 95 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා පිලේ අවසන් නම්දැරූ පිතිකරුවන් දෙදෙනා මෙන්ම, ටෙස්ට් ශතක 20 ක හිමිකරුවන් වන දිනේෂ් චන්දිමාල් (12) සහ ධනංජය ද සිල්වා (8) පිටියේ රැඳී සිටියහ. දෙදෙනා අබිමුව තිබුණේ මුල් ඉනිමේ අවාසිය අකාමකා දැමීමේ කාර්යයයි. 

සිය මුල්ම ඕවරයේ දෙවැනි පන්දුව චන්දිමාල්ගේ පිත්තත් පා ආවරණයත් අතරින් කඩුල්ලට යැවූ ට්‍රැවිස් හෙඩ්ගේ පස්වැනි පන්දුව නිදැල්ලේ යාමට ධනංජය ඉඩදුන්නේය. පන්දුව පා ආවරණයේ වැදුණු නමුත් එය කඩුල්ල ආවරණය කිරීමක් නොවන බව විනිසුරු කුමාර් ධර්මසේන මහතා තීරණය කළේය. එහෙත් විතීවි සහයෝගය ඉල්ලා සිටි පන්දු යවන්නා පන්දු 3 ක් ඇතුළතදී දෙවැනි කඩුල්ලත් දවාගත්තේ තරගයේ තාලය සැණෙකින් වෙනස් කරමිනි. 

එතැනින් ආරම්භ වූ කඩාවැටීම නිමා වූයේ පන්දු 27 කදී කඩුලු 6 ක් බිඳවැටී ශ්‍රී ලංකා දෙැවනි ඉනිම ලකුණු 113 කට අවසන් වීමෙනි. ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය වූ ලකුණු 05 හතරේ පහරකින් සහ හයේ පහරකින් ලබාගත් ඩේවිඩ් වෝනර්, වෝන් - මුරලි කුසලාන තරගාවලියේදී 1-0 ක් ලෙසින් ඕස්ට්‍රේලියාව පෙරමුණට ගෙන ගියේය. 

ඇත්ත ඇති සැටියෙන් කියන්නේ නම් ඕස්ටේ්‍රලියානුවන්ට කැපූ වළේ ශ්‍රී ලංකාව වැටුණේය. සැමදා ශ්‍රී ලංකාවට වාසිදායක ලෙසින් පවතින ගාල්ල තණතීරුවේදි ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැරෙන්නට වත් අවස්ථාවක් නොදී පන්දු යැවූ ඕස්ට්‍රේලියානුවෝ, ඕවර 22.5 කින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම නිමා කළහ. දෙවැනි ඉනිමේ කාලය විනාඩි 111 කි. 

ටෙස්ට් පන්දු යවන්නන් අතර ලෝකයේ අංක 1 හිමි පැට් කමින්ස් ඕස්ට්‍රේලියානු නායකයා වුවද, දෙවැනි ඉනිමේදී ඔහුට එකම ඕවරයක් හෝ යැවීමට අවශ්‍ය නොවීය. පළමු ඉනිමේදී පන්දු නොයැවූ ට්‍රැවිස් හෙඩ්, තරගය අවසන් කළේ පන්දු 17 කදී ලකුණු 10 කට කඩුලු 4 ක් දවාගනිමිනි. එය හෙඩ්ගේ හොඳම පළමු පෙළ පන්දු යැවීමද විය. නේතන් ලයන් ඉනිම දෙකේදීම ලකුණු 121 කට කඩුලු 9 ක් අත්පත් කරගත්තේය. 

දඟ කැවීම පමණක් නොව, ඉපිළීමත් ඉතාම වැඩිවූ ගාල්ල තණතීරුව පිතිකරුවන්ට නම් අපායක්ම විය. ටෙස්ට් තරගයක් වුවද, වැඩි වශයෙන් දැකගත හැකිවූයේ ස්වීප් සහ රිවර්ස් ස්වීප් පහර දෙක පමණි. ඩ්‍රයිව් පහර හෝ නොයිඳුල් ඕවර ඉතාම දුර්ලභ විය. 

තරගයේ දෙවැනි දිනයට වර්ෂාවෙන් සහ දැඩි සුළඟින් බාධා ඇතිවීම නිසා ඕවර 45 ක් යැවිය නොහැකි විය. එසේ තිබියදීත්, ඕස්ටේ්‍රලියානුවන් තරගය ජයගත්තේ දින දෙක හමාරක් ඉතිරිව තිබියදීය. ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ සටනකින් තොර යටත්වීම එයින්ම පැහැදිළි කෙරෙනු ඇත. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8 කට ලකුණු 313 ක් ලබා සිටියදී අද පෙරවරුවේදී තරගය ආරම්භ විය. එහෙත් අසිත ප්‍රනාන්දු, පන්දු 5 ක් ඇතුළත ඕස්ට්‍රේලියානු මුල් ඉනිම අවසන් කළේය. 

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භ කරමින් මිචෙල් ස්ටාක් යැවූ පළමු ඕවරයේදීම ලකුණු 17 ක් ලබාගත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ අරමුණ වූයේ හැකි ඉක්මනින් මුල් ඉනිමේ අවාසිය මඟහරවා ගැනීමය. තණතීරුව ඉතාමත් තියුණු ආකාරයෙන් දඟ කැවෙමින් පැවැති හෙයින්, ලකුණු කරා යනවා විනා තට්ටු ඇල්ලීමෙන් ප්‍රයෝජනයක් අත් නොවන බව ද දෙදෙනාම දැන සිටියහ. 

තමන් හමුවේ පැවැති පිටිය අනුව, ලකුණු ලබාගැනීමට පැවැති විකල්ප තෝරා ගැනීමට පිතිකරුවන් දෙදෙනාටම සිදුවූවද, තනි ලකුණු සොයාගැනීම ඉතාම අසීරු විය. ඒ වෙනුවෙන් තිබූ එකම විකල්පය වූයේ ස්වීප් පහර හෝ රිවර්ස් ස්වීප් පහරයි. 

ඇන්ජලෝ මැතිව්ස් කොරෝනා වයිරසයට ගොදුරු වූ හෙයින් මෙම තරගයට එක්වූ ඕෂධ ප්‍රනාන්දු සිව්වැනි පිතිකරුවා ලෙසින් දැවී යාමත් පළමු කඩුල්ලත් අතර පරතරය ලකුණු 26 කි. එතැන් සිට දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා එක්ව, පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 32 ක සම්බන්ධතාවක් ගෙඩනංවාගෙන පැමිණි නමුත් 19 වැනි ඕවරයේදී පන්දු අතට ගත් ට්‍රැවිස් හෙඩ් සියල්ල සීඝ්‍රගාමී කළේය. 

ට්‍රැවිස් හෙඩ් පන්දුව බාරගැනීමත්, තරගයේ අවසානයත් අතර පැවැතියේ විනාඩි 18 කි. වෝන් - මුරලි කුසලාන තරගාවලියේ දෙවැනි තරගය ලබන 8 වැනිදා ගාල්ල ක්‍රීඩාංගණයේදීම ආරම්භ වීමට නියමිතය. 

ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව - පලමු ඉනිම  212
(ඇන්ජලෝ මැතිව්ස් 39, නිරෝෂන් දික්වැල්ල 58, නේතන් ලයන් 90/5, මිචෙල් ස්වෙප්සන් 55/3)

 

(ඡායාරූප - හිමත් මතීෂ)


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවන්ට කැපූ වළේ ශ්‍රී ලංකාව වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.