Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශී‍්‍ර ලංකා යෞවනයෝ ජයග‍්‍රහණය උදුරා ගනිති

ශී‍්‍ර ලංකා යෞවනයෝ ජයග‍්‍රහණය උදුරා ගනිති

editorial - 2021 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

මතීෂ පතිරණ (26/3), දුනිත් වෙල්ලාලගේ (30/3) සහ ටෙ‍්‍රවීන් මැතිව්ස්ගේ (47/2) දක්ෂ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ යොවුන් පිල එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති දෙවැනි යොවුන් එක්දින තරගයේදී ලකුණක තියුණු ජයක් ශ‍්‍රී ලංකා යොවුන් පිලට හිමිවිය. ඒ අනුව තරග 5 කින් සමන්විත යොවුන් එක්දින තරගාවලියේදී 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ‍්‍රී ලංකා යොවුන් පිලට හැකිවිය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 229 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ යොවුන් පිල  ඕවර 49.3 කදී ලකුණු 227 කට සියලූදෙනා දැවී ගියහ.

ඕවර 45 ක් අවසන් වනතෙක් බංග්ලාදේශ යොවුන් පිල ඉදිරියෙන් සිටියද 46 වැනි  ඕවරය ලකුණකට සීමා කරමින් ඔවුන්ගේ 7 වැනි කඩුල්ල දවාගැනීමට නායක වෙල්ලාලගේ සමත්විය. ඉන්පසුව 48 වැනි  ඕවරයේ පිට පිට පන්දු දෙකකදී කඩුලූ දෙකක් දවාගැනීමට මතීෂ පතිරණ සමත්වීමත් සමගින් ශ‍්‍රී ලංකා යොවුන් පිලේ ජයග‍්‍රහණයේ බලාපොරොත්තු ඉහළ ගියේය.

අවසන්  ඕවරයේදී බංග්ලාදේශ යොවුන් පිලට ජයග‍්‍රහණය සඳහා ලකුණු 8 ක් අවශ්‍යවූ අතර අවසන් පිතිකරුවා වූ අශිකුර් සමාන්, අවසන්  ඕවරයේ පළමු පන්දුව කඩුලූ රකින්නාගේ හිසට ඉහළින් හතරෙ සීමාවට යැවීය. මතීෂ පතිරණගේ දෙවැනි පන්දුව වයිඩ් පන්දුවක් වූ හෙයින් ඉලක්කය පන්දු 4 කදී ලකුණු 3 ක් ලෙෂ වෙනස් විය. එහෙත් සිව්වැනි පන්දුවේදී රිපොන් මොන්ඩොල් දුවද්දී දැවීයාමකට හසුකර ගැනීමට පවන් පතිරාජ සමත් වූ හෙයින් බංග්ලාදේශ යොවුන් ඉනිම ලකුණු 227 කට සීමා විය.

ආරම්භක පිතිකරු මෆිජුල් ඉස්ලාම් පන්දු 96 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 75 ක් රැස්කරමින් බංග්ලාදේශ යොවුන් පිලේ ජයග‍්‍රහණයට අවශ්‍ය අඩිතාලම දමා දුන්නේය. නමුත් පසුපෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹයන් හමුවේ ජයග‍්‍රහණය පෙනි පෙනී තිබියදී එය ඔවුන්ගෙන් ගිලිහී ගියේය.

 ඉෆ්තිකර් හුස්සේන් ලකුණු 36 ක්, එස්.එම්.මෙහෙරොබ් ලකුණු 33 ක් සහ අරිෆුල් ඉස්ලාම් ලකුණු 23 ක් ලබාගැනීමට සමත්වූහ. එහෙත් තරගය වෙනස් කළේ ලසිත් මාලිංග පන්දු යවන්නාක් වැනි ඉරියව්වකින් පන්දු යවන මතීෂ පතිරණයි. පතිරණ විසින් 48 වැනි  ඕවරයේදී පිට පිටම කඩුලූ දෙකක් දවාගැනීම නිසා බංග්ලාදේශ යොවුන් පිල නොසිතූ පීඩනයකට ලක්විය.

මතීෂ පතිරණ ලකුණු 26 කට කඩුුලූ 3 ක් ද, දුනිත් වෙල්ලාලගේ ලකුණු 30 කට කඩුලූ 3 ක් සහ ටෙ‍්‍රවීන් මැතිව්ස් ලකුණු 47 කට කඩුලූ 2 ක් දවාගනිමින් ශ‍්‍රී ලංකා යොවුන් පිල ජයග‍්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා යොවුන් පිලට   ඕවර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 228 ක් පමණි.  ආරම්භක පිතිකරු සදීෂ් ජයවර්ධන සහ අංක 4 පිතිකරු පවන් පතිරාජ  අර්ධ ශතක ලබාගනිමින් ශ‍්‍රී ලංකා යොවුන් පිල ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.

සදීෂ් ජයවර්ධන පන්දු 94 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 58 ක් ලබාගත් අතර පවන් පතිරාජ පන්දු 68 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 51 ක් ලබාගැනීමට සමත්විය. ශෙවොන් ඩැනියෙල් පන්දු 58 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 34 ක් ද, රවීන් ද සිල්වා පන්දු 30 කදී හතරේ පහරක් සමගින් ලකුණු 25 ක් ද ලබාගනිමින් ශ‍්‍රී ලංකා යොවුන් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.

නමුත් මෙම පිතිකරුවන් ලකුණු ලබාගැනීමේ වේගය අඩු මට්ටමක පවත්වාගෙන යාම හේතුවෙන් ශ‍්‍රී ලංකා යොවුන් පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 228 කට සීමාවී ඇත. පසුපෙළ පිතිකරු චමිඳු වික‍්‍රමසිංහ වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 17 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 27 ක් ලබාගත්තේය.

ශෙවොන් ඩැනියෙල් සමගින් දෙවැනි කඩුල්ල සඳහා පන්දු 102 කදී ලකුණු 66 ක සම්බන්ධතාවයක් පැවැත්වූ සදීෂ් ජයවර්ධන ඉන් නොනැවතී තෙවැනි කඩුල්ල සඳහා පවන් පතිරාජ සමගින් එක්ව පන්දු 87 කදී තවත් ලකුණු 54 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

කණ්ඩායම් දෙක අතර තෙවැනි යොවුන් එක්දින තරගය 20 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.


ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම -  ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 228
(සදීෂ් ජයවර්ධන 58, ශෙවොන් ඩැනියෙල් 34, පවන් පතිරාජ 51, රවීන් ද සිල්වා 25, චමිඳු වික‍්‍රමසිංහ 27, රිපොන් මොන්ඩොල් 49/3, ආෂිකූර් සමාන් 54/2)

බංග්ලාදේශ යොවුන් කණ්ඩායම -  ඕවර 49.3 කදී සියලූදෙනා දැවී 227
(මාෆිජුල් ඉස්ලාම් 75, ඉෆ්තිකර් හුස්සේන් 36, එස්.එම්.මෙහෙරොබ් 33, අරිෆුල් ඉස්ලාම් 23, මතීෂ පතිරණ 26/3, දුනිත් වෙල්ලාලගේ 30/3, ටෙ‍්‍රවින් මැතිව්ස් 47/2)

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා යෞවනයෝ ජයග‍්‍රහණය උදුරා ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.