Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දින 9 ක් ඉතිරියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දින 9 ක් ඉතිරියි

editorial - 2023 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මෑත කාලීන කටයුතු සම්බන්ධයෙන් විමර්ශනය කළ සය පුද්ගල කමිටුවේ නිර්දේශ මත ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට පියවරක් ගැනීම, පෙබරවාරි මස 1 වැනිදා පැවැත්වෙන මීළඟ නඩු විභාගය තෙක් අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය දැනුම් දී තිබේ.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටු වාර්තාව බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සහ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරුන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කිරීමෙන් අනතුරුව මෙම දැනුම්දීම කර තිබේ.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩකයින්, නිලධාරීන් සහ හිතවතුන් අතර සිදුවූ බව කියන මූල්‍ය අවභාවිතාව සහ අනෙකුත් කාරණා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින්, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන ලදි. එම කමිටුවට හිටපු අමාත්‍යාංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල, විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස්, හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලින් ද අල්විස් සහ නීතීඥ ශලිනි රොෂානා ප්‍රනාන්දු යන අයද ඇතුළත් වූහ.

එම කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට අවශ්‍ය තරම් කරුණු සොයා ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අමාත්‍යාංශය සමඟ ඇති සම්බන්ධය අත්හිටුවීමට, අවලංගු කිරීමට හෝ යළි බලගැන්වීම සඳහා ක්‍රීඩා නීතිය සහ ඒ යටතේ ප්‍රකාශයට පත් කර ඇති රෙගුලාසි යටතේ ඔහුගේ බලතල ක්‍රියාත්මක කරන ලෙස පිටු 63 කින් යුත් වාර්තාවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කරනු ලැබිණ.

සේවකයින් දෙදෙනෙකු සහ විධායක කමිටු සාමාජිකයින් 14 දෙනෙකු ඇතුළුව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් 16 දෙනෙකු යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 65කට අධික මුදලක් වැය කර ඇත. ඔවුන්ගේ ගමන් බිමන් ගැන දැන් ප්‍රශ්න කෙරුණත් අමාත්‍යාංශය ඊට කලින් අනුමැතිය දී තිබිණ.

ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා ඕස්ට්‍රේලියාව බලා ගිය අය අතර සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා, උප සභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස, රවීන් වික්‍රමරත්න, භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරොම් ජයරත්න, විධායක කමිටු සාමාජිකයන් වන සුජීව ගොඩලියද්ද, ක්‍රිශාන්ත කපුවත්ත, ජානක පතිරණ, තිලක් වත්තුහේවා, සමන්ත දොඩන්වෙල, ප්‍රියන්ත අල්ගම, බන්දුල දිසානායක, රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වා සහ නලින් අපොන්සු යන අය වූහ.

ලෝක කුසලාන තරගාවලියට සමගාමීව පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විවිධ රැස්වීම්වලට සහභාගී වීම සඳහා ඇතැමුන් නිල මට්ටමින් ගමන් කළ නමුත් බහුතරයක් නිලධාරීන්ට එය සම්පූර්ණ වැටුප් සහිත නිවාඩුවක් වී තිබිණ.

චෝදනා එල්ල වූ වියදම් පිළිබඳ ස්වාධීන විගණනයක් කරන ලෙසට ද විමර්ශන නිලධාරීන් අමාත්‍යවරයාට උපදෙස් දුන් අතර සාක්ෂි විනාශ නොවන බවට සහතික වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ලේඛන භාර ගන්නා ලෙස ද ඉල්ලා තිබිණ. මුදල් අවභාවිතයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නිර්දේශ කර ඇත.

කෙසේ වෙතත්, අමාත්‍යවරයා සිය බලතල ක්‍රියාත්මක නොකර මීළඟ ක්‍රියාමාර්ගය තීරණය කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ඉල්ලා තිබේ. වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දාය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ ධනවත්ම ක්‍රීඩා සංගමයයි. 2011 සහ 2012 වසරවල ලෝක කුසලාන තරඟාවලි දෙකකට සම සත්කාරකත්වය සහ සත්කාරකත්වය දැරීමෙන් පසුව බංකොලොත් කාල පරිච්ඡේදයක් පසුකළද, පසුගිය කාලයේදී එය දියුණුවක් පෙන්නුම් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මෑතකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ඇමරිකානු ඩොලර් මිලියන 40 ක මුදලක් එහි භාණ්ඩාගාරයේ ඇති බවයි.

- 213


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දින 9 ක් ඉතිරියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.