Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තිත්ත කසාය ශ්‍රී ලාංකිකයන්ටම පොවයි

තිත්ත කසාය ශ්‍රී ලාංකිකයන්ටම පොවයි

editorial - 2021 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(දමින්ද විජේසූරිය)

 

දඟ පන්දු යවන්නන් හමුදාවක් සමග පැමිණි දකුණු අප්‍රිකානුවෝ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති හිතකර තත්ත්වයන් මැනවින් ප්‍රයෝජනයට ගනිමින්, තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකාවට 3-0 ක සම්පූර්ණ සුද්දයක් දුන්හ. අද පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 120 කට සීමා කළ සංචාරකයෝ, ඕවර 14.2 කදී ඉලක්කය කරා අවතීර්ණ වෙමින් කඩුලු 10 ක විශිෂ්ට ජයක් අත්කරගත්හ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැරෙන්නට වත් අවස්ථාවක් නොදුන් දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නෝ, සිය මංගල වි-20 තරගයේදීම නායකත්වයට පත් කේෂව් මහාරාජ්ට 3-0 ක තරගාවලි ජයක් තෑගි කළෝය.

පිතිකරුවෝද ඊට නොදෙවනි මෙහෙයක් කළහ. අද තරගයේදී ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 121 සොයා යාමට ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ රීසා හෙන්රික්ස් (නොදැවී 56) සහ ක්වින්ටින් ඩි’කොක් (නොදැවී 59) දෙදෙනට අවශ්‍ය වූයේ පන්දු 88 ක් පමණි. ඒවායින් 12 ක් හතරේ සීමාවෙන් එපිටට ගිය අතර තවත් එකක් ලනුවට ඉහළින් පියාඹා ගියේය.

පන්දුව දණහිසට ඉහළින් නොපැමිණෙන, ඉතාමත්ම මන්දගාමී තණතිරුවක් ලෙසින් ලෝ ප්‍රකට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, ශ්‍රී ලාංකිකයන් විසින් ප්‍රයෝජනයට ගනු ලබන්නේ සීත රටවලින් පැමිණෙන කණ්ඩායම් වල පිතිකරුවන් අමාරුවේ දැමීමටය. එහෙත් මේ වතාවේදී ශ්‍රී ලංකාවේම වට්ටෝරුවට පත 8 එකට සිඳ දුන් තිත්ත කසාය බීමට ශ්‍රී ලංකා කණ්ඩායමටම සිදුවිය.

පිට පිටම තුන්වැනි වතාවටත් දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නන් හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 120 කට දැවී ගියහ.  විස්සයි-20 තරග තුනේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ලකුණු රැස්කිරීම් වූයේ 135 යි, 103 යි සහ 120 කි.

කගීසෝ රබාඩා කඩුලු 2 ක් දවාගනිමින් ශ්‍රී ලංකා පිලේ මුල් පෙළට මාරාන්තික පහරක් දුන් අතර දඟ පන්දු යවන්නන් පස්දෙනා හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවෝ මහත් සේ අසරණ වූහ.

විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාව හයේ හතරේ පහර වලින් තීරණය වන බව පිළිගත් සත්‍යයක් වූවත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඒ බව අමතක වූ සෙයකි. නැතහොත් ඒ නොහැකියාවම මිස අනෙකක් නොවේ. ශ්‍රී ලංකා ඉනිමට ඇතුළත්වූයේ හතරේ පහර 8 ක් සහ අවසන් ඕවර දෙකේදී චාමික කරුණාරත්න ගැසූ හයේ පහර දෙකත් පමණි.

ශ්‍රී ලංකා පිතිකරුවන් මුහුණ දුන් පන්දු 120 න් 8 ක් දැවීයාම් වලට අඩුවූ අතර ඉතිරි පන්දු 112 න් පන්දු 50 ක්ම නිළකුණු පන්දු විය. දඟ පන්දු යවන්නන් තරගයේ පාලනය එහෙම පිටින්ම සියතට ගෙන තිබිණ. නිත්‍ය පන්දු යවන්නකු නොවන නමුත් ඒඞ්න් මාක්රම් සිය ඕවර 2 ලකුණු 4 කට සීමාකරගත්තේය. කේෂව් මහාරාජ්ගේ ඕවර 4 න්ම ලබාගත හැකිවූයේ ලකුණු 14 ක් පමණි.


අදහස් (2)

තිත්ත කසාය ශ්‍රී ලාංකිකයන්ටම පොවයි
  • Chaba Wednesday, 15 September 2021 12:33 AM

    අන්තිමයි, දසුන් ශානකගේ නායකත්වය...

    Reply 0       0

    Sk Wednesday, 15 September 2021 09:53 AM

    ක්‍රීඩකයින් යාලුකමට තෝරනවා. ෆේල් කෙනා දිගටම දන්නවා, පාස් කෙනා එළියේ තියෙනවා...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.