Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාව ගෙන්වන්න හිදැසක් සොයයි

ඉන්දියාව ගෙන්වන්න හිදැසක් සොයයි

editorial - 2021 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඉන්දීය කණ්ඩායම එක්දින තරගාවලියකට සහ විස්සයි-20 තරග 5 කට ශ්‍රී ලංකාවේදී සභභාගි වන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි මහතා සුප්‍රකට ඉන්දීය ක්‍රීඩා සඟරාවක් වන ‘ද ස්පෝට්ස්ටාර්’ සඟරාවට පවසා තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ විමසීමකදී දැනගත හැකිවූයේ එම තරගාවලිය කොතැනට යොදාගත හැකිද යන්න පරෙස්සමෙන් සොයා බැලිය යුතු බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කළ විමසීමේදී “ගංගුලිට වැරදුනා වත්ද” යයි එම නිලධාරියා විමසා සිටියේ ඉන්දීය කණ්ඩායමේ කාර්ය බහුල තරග කාලසටහනේ හිදැස් නැති බව පැහැදිළිවම දැන සිටි බැවිනි. එහෙත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් සූදානමින් සිටින බවද ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිතයා කෙළිමඬලට පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත සීමිත ඕවර තරගාවලියේ දින වකවානු සම්බන්ධයෙන් ‘ස්පෝට්ස්ටර්’ සඟරාවට හෝ වෙනත් ඉන්දීය මාධ්‍ය වෙත කිසිවක් හෙළිදරව් නොකිරීමට සව්රව් ගංගුලි මහතා පරෙස්සම් වී තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉදිරි තරග සැලැස්ම අනුව නම් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි-20 තරගාවලියක් ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබිණ. එම තරගාවලියට දින නියමකරගෙන තිබුණේ ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය සඳහා ඉන්දීය කණ්ඩායම සුදුසුකම් ලබාගැනීමට පෙරය.

එහෙත් දැන් පවතින තත්ත්වය අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයත්, ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියත් අතර හිදැසක් සොයාගත නොහැකි බැවින් ඉන්දිය පිලේ ශ්‍රී ලංකා සංචාරය කිනම් කාලයකදී පැවැත්වෙනු ඇත්ද යන්න නිශ්චයකරගත නොහැකිය.

ක්‍රීඩකයන් 20 දෙනකුගෙන් සහ අතිරේක ක්‍රීඩකයන් 4 දෙනකුගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායමක් ජූනි මස 2 වැනිදා එංගලන්තය බලා පිටත්ව යයි. ඒ ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගය වෙනුවෙනි. ඉන්දියාව සහ නවසීලන්තය අතර ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගය පැවැත්වෙන්නේ ජූනි 18 වැනිදා සිට 22 වැනිදා දක්වා එංගලන්තයේ සදම්ප්ටන් නුවර ඒජස් බෝල් ක්‍රිඩාංගණයේදීය.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය පැවැත්වෙන අවස්ථාවේදීම ශ්‍රී ලංකා කණ්ඩායමත් එංගලන්තයේ සිටී. ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය ජූනි 18 වැනිදා කෙන්ට් පිලට එරෙහිව කැන්ටබරිහිදී පැවැත්වෙන තරගයෙන් ආරම්භ වේ. ශ්‍රී ලංකා - එංගලන්ත සීමිත ඕවර තරගාවලිය (වි-20 තරග 3 ක් සහ එක්දින තරග 3 ක්) ජූලි 4 වැනිදා දක්වා එංගලන්තයේදී පැවැත්වේ.

ඉන්දියාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වන්නේ අගෝස්තු 4 වැනිදා නොටිංහැම්ප්ෂයර්හිදීය. මෙම ටෙස්ට් තරගාවලිය සැප්තැ්ම්බර් 14 වැනිදා දක්වා පැවැත්වෙන තරග 5 කින් යුත් දීර්ඝ ටෙස්ට් තරගාවලියකි. මෙම තත්ත්වය අනුව ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම් කළ හැකි එකම වෙනස වන්නේ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පොරතුව පැවැත්වීමට නියමිත එල්.පී.එල්. තරගාවලියේ දින වකවානු වෙනස් කිරීමයි.

අයි.පී.එල්. තරගාවලියේ ඉතිරි තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ආරාධනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරණ මණ්ඩලයේ වත්මන් සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කියා සිටියේ අයි.පී.එල්. තරග වෙනුවෙන් කාල රාමුවක් සකසා දිය හැක්කේ දැන්ම නොවන බවත් සැප්තැම්බර් මාසයේදී පමණ එය කළ හැකි බවත්ය.

“මේ වෙලාවේ අපිත් ඉන්නේ අමාරුවේ වැටිලා.. ඒත් සැප්තැම්බර් විතර වෙනකොට රටේ තත්ත්වය කිසියම් ස්ථාවර මට්ටමකට ගේන්න අපට පුළුවන් වෙන්න ඕනා. ඊට පස්සේ අපි එල්.පී.එල්. තරගාවලිය තියලා ඒකෙන් පස්සේ පුළුවන් අයි.පී.එල්. ගැන හිතා බලන්න” යයි මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.

ඉදින් අයි.පී.එල්. තරගාවලිය එම කාලය ඇතුළතදී, ශ්‍රී ලංකාවේ හෝ ලෝකයේ වෙනත් ස්ථානයක නොපැවැත්වෙන්නේ නම්, ඉන්දීය කණ්ඩායමට එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 5 ක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවස්ථාවක් තිබේ.

එල්.පී.එල්. තරගාවලියේ දින වකවානු වෙනස් කරගනිමින් හෝ ඉදිරිපෙළ ක්‍රීඩකයන්ගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායමක් සමග විස්සයි-20 තරගාවලියකට යාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මඩිය තරකර ගැනීමකි. ඉන්දියාව සමග පැවැත්වෙන, තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියක ආසන්න වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 10 කට වැඩි මිසක් අඩු නොවේ.

අනෙක් අතට ඔක්තෝබර් මස මැද භාගයේදී ආරම්භ වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර, ඉන්දීය කණ්ඩායමටත් විස්සයි-20 අන්තර්ජාතික තරග වැදගත් වනු ඇත.

 


අදහස් (0)

ඉන්දියාව ගෙන්වන්න හිදැසක් සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.