Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අපරාජිත කණ්ඩායමක බලාපොරොත්තු කඩවීම

අපරාජිත කණ්ඩායමක බලාපොරොත්තු කඩවීම

editorial - 2021 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


වසර 2009 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේදීම ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් ගෙදර යැවූ ශ්‍රී ලංකා කණ්ඩායම, බටහිර ඉන්දීය කොදෙව්වන්ද පරාජය කරමින් 2009 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය සුදුසුකම් ලබාගත්තේ සිය අපරාජිත බව රැකගනිමිනි‍.

  වසර 15 ක ලෝක ක්‍රිකට් ඇබ්බැහිය
   ශී‍්‍ර ලංකාවේ විස්සයි-20 තිඹිරිගෙය
   වැඩිම ලකුණු ලෝක වාර්තාව ශී‍්‍ර ලංකාවට
   අජන්ත මෙන්ඩිස් ලෝක වාර්තාව අලුත් කරයි
   ඩිල් ස්කූප් පහරේ උපත
  හේරත් වමතින් නවසීලන්තයම කරකවයි
   මහේල කසකාරයාගේ භූමිකාවට පිවිසෙයි

ඉන් අනතුරුව පාකිස්තානය, අයර්ලන්තය සහ නවසීලන්තයද පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට එහිදි නැවත වරක් කොදෙව්වට එරෙහිව තරග වැදීමට සිදුවිය.  දෙවැනි වරටත් කොදෙව්වන් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මහ තරගයේදී මුණගැසුනේ සුපිරි 8 දෙනාගේ වටයේදී තමන් විසින් පරාජය කරන ලද පාකිස්ථාන කණ්ඩායමයි.

එහෙත් කිසිවකු බලාපොරොත්තු නොවූ පරිදි ශ්‍රී ලංකා කණ්ඩායමේ අපරාජිත බව බිඳදැමූ පාකිස්තානුවෝ විස්සයි20 ලෝක කුසලාන තමන් සතු කරගද්දී, ශ්‍රී ලංකාවට එහි අනු ශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය‍.

ඉන් වසර 2 කට පෙර එනම් 2007 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ඉන්දියාවන් හමුවේ ලැබූ පරාජයේ වාඩුව ශ්‍රී ලංකාවෙන් ගත් පාකිස්තානුවෝ, 2009 වසරේදී විස්සයි20 ලෝක කුසලානයේ ජය පැන් බීහ. අවසන් තරගය දක්වාම කිසිවකු හමුවේ පසුනොබෑ ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මහ තරගයේදී පාකිස්තානය හමුවේ දණ නැමීමට පිතිකරුවන්ගේ අසාර්ථකත්වය බෙහෙවින්ම බලපෑ‍වේය.

අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ කුමාර් සංගක්කාර පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණ කළේය. එහෙත් තරග 6 කදී අර්ධ ශතක 3 ක් සමග ලකුණු 317 ක් ලබා තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටි තිලකරත්න ඩිල්ෂාන් අවසන් තරගයේදී ලකුණු නොළබා දැවී යෑම ශ්‍රී ලංකා කණ්ඩායමට දරාගත නොහැකි පාඩුවක් විය. ජෙහාන් මුබාරක්ද (0) ආපයින්ම ආපසු ක්‍රීඩාගාරය බලා යෑමත් සමග ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 2 කට කඩුලු 2 ක් බවට පත් විය.

එම මොහොතේදී දැඩි පීඩනයකට ලක්ව තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් මුදවාගැනීමේ උත්සාහයක නිරත වූ සනත් ජයසූරියට, පන්දු 10 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 17 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූ‍යේ අබ්දුල් රසාක්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙනි. ඉන් නොනැවතුන රසාක්, පස්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මහේල ජයවර්ධනද එක් ලකුණකට පිටියෙන් ඉවත් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 32 කට කඩුලු 4 ක් බවට පත් කළේය.

හයවැනි සහ හත්වැනි පිතිකරුවන් වූ චාමර සිල්වා සහ ඉසුරු උදාන පිළිවෙලින් ලකුණු 14 කට සහ එක් ලකුණකට දැවී යෑමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ බර නායක සංගක්කාරගේ කර මතට පැටවිණ. සෙසු ‍පිතිකරුවන් එක‍ා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකෙගෙන ඉතා සූක්ෂම අයුරින් පන්දුවට පහරදුන් සංගක්කාර පන්දු 52 කදී හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 64 ක් රැස්කරමින් කෙමෙන් කෙමෙන් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

එහිදී සංගක්කාරට අනගි සහායක් දුන් ඇන්ජලෝ මැතිව්ස් පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 35 ක් රැස්කළේය. හත්වැනි කඩුල්ල වෙනුවෙන් සංගක්කාර සමග එක්ව පන්දු 42 කදී ලකුණු 68 ක නොබිඳුන සම්බන්ධතාවක් ගොඩනැගීමටද මැතිව්ස් සමත් විය. ඔවුන් දෙදෙනාගේ අගනා සම්බන්ධතාව හමුවේ ඕවර 20 අවසන් වන විට ලකුණු 138 ක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, ජයග්‍රහණය සඳහා පාකිස්තාන කණ්ඩායමට ලකුණු 139 ක ඉලක්කයක් ලබාදුන්නේය.

එම ඉලක්කය හඹායෑම සඳහා පිටියට පිවිසි පාකිස්තාන ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ කම්රන් අක්මාල් (37) සහ ශාසයිබ් හසන් (19) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. එහිදි පන්දු 28 කට මුහුණදුන් අක්මාල් හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සැරසූ අතර හසන්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

මුලු ලකුණු සංඛ්‍යාව 63 ක් වන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනා පිටියෙන් ඉවත් කිරීමට මුත්තයියා මුරලිදරන් සහ සනත් ජයසූරිය සමත් වූහ. ‍කෙසේ වුවත් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 57 කදී ලකුණු 76 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ සහීඩ් අෆ්රිඩ් (නොදැවී 54) සහ ශොයිබ් මලික් (නොදැවී 24) පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. පන්දු 40 කදී වාර්තා වූ අෆ්රිඩිගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.

අවසන් තරගයේදී ඉසුරු උ‍දාන සහ අජන්ත මෙන්ඩිස් පාකිස්තාන පිතිකරුවන්ගේ දැඩි ප්‍රහාරයට ලක් වූ අතර ඔවුන් දෙදෙනාගේ ඕවර 8 තුළදී පිළිවෙලින් ලකුණු 44 ක් සහ 34 ක් රැස්කිරීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත් වූහ. මුරලිදරන් සහ ජයසූරිය පිළිවෙලින් ලකුණු 20 කට එක් කඩුල්ලක් සහ ලකුණු 8 කට එක් කඩුල්ලක් බැගින් දවාගත්තද, ඔවුන් දෙදෙනාට ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.


ශ්‍රී ලංකාව - ඕවර 20 කදී කඩුලු 6 කට 138
(සනත් ජයසූරිය 17, කුමාර් සංගක්කාර නොදැවී 64, චාමර සිල්වා 14, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 35, අබ්දුල් රසාක් 20/3)

පාකිස්තානය - ඕවර 18.4 කදී කඩුලු 2 කට 139
(කම්රාන් අක්මාල් 37, ශාසයිබ් හසන් 19, ශහීඩ් අෆ්රිඩි නොදැවී 54, ෂොයිබ් මලික් නොදැවී 24)  


සැකසුම - ශානුක අරවින්ද

 


අදහස් (0)

අපරාජිත කණ්ඩායමක බලාපොරොත්තු කඩවීම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.