Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවට ලකුණු 187 ක දැවැන්ත ජයක්
පළමු ටෙස්ට් තරගය

ශ්‍රී ලංකාවට ලකුණු 187 ක දැවැන්ත ජයක්

editorial - 2021 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පෙරවරුවේදී පැය දෙකකට වැඩි කාලයක් පුරා කඩුල්ලක් දවාගත නොහැකි වීමෙන් අසහනයට පත්ව සිටියද විනාඩි 70 ක් ඇතුළතදී කොදෙව් පිලේ අවසන් කඩුලු 4 ම දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 187 ක දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කරගත්හ. 

මෙම ජයත් සමගින් සමගින් සෝබර්ස් - තිසේරා කුසලාන ටෙස්ට් තරගාවලියේදී 1-0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණ  ගත්තේය. මෙම තරගය 2022-23 ටෙස්ට් ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ පළමු තරගයද වෙයි. 

තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (24 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 6 ක් දවාගෙන සිටි ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙතින් අද පෙරවරුවේදී උඩපන්දු 4 ක්ම ගිළිහී ගියේය. එහෙත් දිවා ආහාරයට විනාඩි 15 ක් තිබියදී ජොෂුවා ද සිල්වා දුන් උඩපන්දුව රැකගත් ධනංජය ද සිල්වා තරගයේ ගමන් මග වෙනස් කළේ නිකෲමා බෝනර් සමගින් එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ජොෂුවා ද සිල්වාගේ ඉනිම ලකුණු 54 කට සීමා කරමිනි. 

දිවා ආහාරයෙන් පසුව පැයකටත් අඩු කාලයකදී තුළදී ඉතිරි කඩුලු තුනත් දවාගත් ලසිත් ඇඹුල්දෙණිය සහ ප්‍රවීන් ජයවික්‍රම කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 160 කට සීමාකරමින් ලකුණු 187 ක ජයක් කරා ශ්‍රී ලංකා පිල කැඳවාගෙන ගියහ. ඇදහිය නොහැකි කාරණය වූයේ වර්ෂාවත් සමග ඔට්ටු දිවීමේ යෙදුණු ශ්‍රී ලංකා පිල ජයග්‍රහණයෙන් විනාඩි 5 ක් යාමටත් මත්තෙන් වර්ෂාව ආරම්භ වීමයි. 

කොදෙව් දෙවැනි ඉනිමේ ඕවර 70 ක් අවසන් වන තුරුත් ශ්‍රී ලංකාවේ අංක 1 වේග පන්දු යවන්නා වන සුරංග ලක්මාල් එකම ඕවරයක් වත් යවා තිබුණේ නැත. එහෙත් එයින් පන්දු 3 කට පසුව රකීම් කොන්වෝල්ගේ උඩපන්දුව රැකගත් ලක්මාල් තමන්ගේ පන්දු යැවීම මෙම ඉනිමට අවශ්‍ය නැතැයි තහවුරු කළේය. ලක්මාල් වෙනුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ ලසිත් ඇඹුල්දෙණිය සිව්වැනි වතාවටත් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත්තේ තරග 12 කදී තමාගේ කඩුලු එකතුව 55 ක් දක්වා ඉහළ දමාගනිමිනි. 

දෙවැනි ඉනිම සඳහා කඩුලු 4 කට ලකුණු 191 ක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම දින එක හමාරකට ආසන්න කාලයකදී හැකිනම් ලකුණු 347 ක් ලබාගනිමින් පළමු ටෙස්ට් තරගය ජයගන්නා ලෙස කොදෙව්වන්ට අභියෝග කළේය. අභියෝගයට මුහුණ දීම කෙසේ වෙතත් ඉනිම ආරම්භයේදීම අන්ද මන්ද වූ කොදෙව්වෝ ලකුණු 18 ක් ඇතුළත පිට දඟ පන්දු යවන රමේෂ් මෙන්ඩිස්ට සහ වමතින් පා දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණියට කඩුලු 6 ක් ම පූජා කළහ. 

එතැන් සිට තිබූ එකම ප්‍රශ්නය වූයේ මෙම තරගයේ ජයග්‍රහණය කාටද යන්න නොව, ශ්‍රී ලංකා කණ්ඩායම තරගයෙන් ජයයගන්නේ කිනම් මොහොතකදීද යන්න පමණි. 

ශ්‍රී ලංකාව සහ කොාදව් පිල අතර දෙවැනි ටෙස්ට් තරගය මේ මස 29 වැනිදා සිට දෙසැම්බර් 3 වැනිද දක්වා ගාල්ල ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ. 

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලකුණු 187 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.