ශ්‍රේෂ්ඨයන්ගේ ක්‍රිකට් තරගය කල්යයි
එස්.එස්.සී පිටියේදී පැවැති පුහුණු සැසියකදී ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන් ද සිල්වා, ශ්‍රේෂ්ඨයන්ගේ කණ්ඩායමේ නායක සනත් ජයසූරිය සහ උපුල් තරංග (වැටට පිටුපසින්)
ඡායාරූපය - ළහිරු හර්ෂණ
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨයන්ගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර අනිද්දා (4 වැනිදා) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සූදානම් කර තිබූ ක්‍රිකට් තරගය යොදාගත් පරිදි නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨයන්ගේ කණ්ඩායමේ ක්රීඩකයකුට කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබේ.
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨයන්ගේ කණ්ඩායමේ කළමණාකරු ශ්‍යාම් ඉම්පෙත් මහතා ප්‍රකාශ කළේ මෙම අවස්ථාවේදී තමන් රෝගියාගේ පළමු පෙළ ආශ්‍රිතයන් වන හෙයින්, රටේ පවතින නීතියට ගරු කරමින් තරගයට සහභගි නොවීම වඩාත් යහපත් බවයි.
“පී.සී.ආර්. වාර්තාව ආපු ගමන්ම අපි කළේ සූම් තාක්ෂණය මගින් රැස්වීමක් තිබ්බා. එතනදි හැමෝගේම අදහස වුණේ මේ වෙලාවේදී අපි පළමු පෙළ ආශ්‍රිතයන් වන නිසා තරගයට නොයා ඉම්මු කියලයි. “ යයි ද ශ්‍යාම් ඉම්පෙත් මහතා වැඩිදුරටත් පැවසීය.
“ඉන්දියාවේ තිබුණු රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස් සීරිස් තරගාවලියට ක්‍රීඩා කරපු වැඩි දෙනෙක් නැතිව වුණත් අපි මේ තරගයට සූදානම් වුණේ හරිම උනන්දුවකින්. මොකද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන් විශාල පිරිසක් මේ තරගය පැවැත්වෙන දවස දිහා ආසාවෙන් බලාගෙන හිටියා... ඒත් මේ වෙලාවේ, දැනට පවතින සෞඛ්‍ය නීතිරීති නිසා, මේ තරගයට ඉදිරිපත් වෙන්න හැකියාවක් අපට නෑ“ යයි කී ශ්‍රේෂ්ඨයන්ගේ කණ්ඩායමේ කළමණාකරැවා වැඩිදුරටත් පැවසීය.
“අපි සියලු දෙනාම මේ වෙනකොට හුදෙකළා වෙලයි ඉන්නේ... තවත් දින 5 ක් සහ දින 7 කින් අපේ තවත් පී.සී.ආර්. පරීක්ෂණ කරන්න නියමිතයි... කොහොම වුණත් දවස් 14 ක් අපි හුදෙකළා වෙලා ඉන්නවා. .. ඉදිරියේ දවසක මේ වගේ තරගයකට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා“ යයිද හෙතෙම පැවසීය.
කණ්ඩායම අද (3 වැනිදා) පල්ලෙකැළේ බලා පිටත්ව යාමට සූදානමින් සිටි අතර ඔවුන්ගේ නවාතැන් සඳහා තැන්නේකුඹුර අර්ල්ස් රීජන්සි හෝටලය වෙන්කර තිබිණ. මෙම තරගය සඳහා හෙට (2 වැනිදා) පෙරවරුවේදී විනිසුරුවරුන් පවා නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය. රවීන්ද්‍ර විමලසිරි සහ ප්‍රගීත් රඹුක්වැල්ල දෙදෙනා මෙම තරගයේ විනිසුරැවරැන් ලෙස නම් කිරීමටත් පසුව තරගය පැවැත්වීමේ හැකියාවක් නොමැති බව ශ්‍රේෂ්ඨයන්ගේ කණ්ඩායම නිවේදනය කළේය.
කණ්ඩායම් දෙකම සෙනසුරාදාත් පුහුණුවීම් කළ අතර ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨයන්ගේ කණ්ඩායම සිය අවසන් පුහුණු සැසිය පවත්වා ඇත්තේ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ ගෘහස්ථ පුහුණු ශාලාවේදීය.