Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රීඩකයන්ට රුපියල් කෝටි 153 ක්
එල්.පී.එල්. - 2023

ක්‍රීඩකයන්ට රුපියල් කෝටි 153 ක්

editorial - 2023 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(දමින්ද විජේසූරිය)

මේ වසරේදී පැවැත්වීමට නියමිත එල්.පී.එල්. තරගාවලිය සඳහා ක්‍රීඩකයන් මිලදී ගැනීමේ වියදම් සීමාව, කණ්ඩායමක් වෙනුවෙන් ඩොලර් මිලියනයක් දක්වා ඉහළ නංවා තිබේ. ඒ අනුව එල්.පී.එල් තරගාවලියේ කණ්ඩායම් පහට, තමන්ගේ ක්‍රීඩකයන් සඳහා ඩොලර් මිලියන 5 ක් වියදම් කළ හැකිය. අද පවතින විනිමය අනුපාතය අනුව එහි වටිනාකම ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 153 ඉක්මවන්නකි. 

එල්.පී.එල්. තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් පස් දෙනාම විදේශීය ආයෝජකයන් වන හෙයින්, යම් හෙයකින් කණ්ඩායම් හිමිකරුවන් අපේක්‍ෂා කරන තත්ත්වයට ළඟාවීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් සමත් වන්නේ නම් මෙම මුදලින් වැඩි කොටසක් ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියේම රඳවාගනීමේ අවස්ථාව ද ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට තිබේ. 

මේ වසරේදී පැවැත්වෙන්නේ සිව්වැනි එල්.පී.එල්. තරගාවලියයි. 

2020 දී ආරම්භ කරන ලද ප්‍රාරම්භක එල්.පී.එල්. තරගාවලිය සහ එහි දෙවැන්න වූ 2021 තරගාවලියත් කොරෝනා වසංගතය මැද පැවැති හෙයින් සංවිධායකයෝ බොහෝ අසීරු අභියෝයන්ට මුහුණ දුන්හ. තුන්වැනි එල්.පී.එල්. තරගාවලිය පැවැති 2022 දී ශ්‍රී ලංකාවේ පැවැති අවිනිශ්චිත දේශපාලන වාතාවරණය (මහජන අරගලය) හේතුවෙන් තරගාවලිය කල් දැමීමට සිදුවිය. කල්දැමූ තරගාවලිය දෙසැම්බරයේදී පැවැත්වෙන විට කලින් ගිවිසුම් අත්සන් කළ ක්‍රීඩකයෝ, ලෝකයේ අනෙකුත් කණ්ඩායම් සමගින් වෙනත් ගිවිසුම් වෙත එළැඹ තිබුණ බැවින් ඔවුන්ගේ සේවය ලබාගත නොහැකි විය. 

මෙම හේතූන් නිසා පළමු එල්.පී.එල්. තරගාවලි තුනේදීම පැවැති ක්‍රීඩාවේ තත්ත්වය වඩාත් උසස් මට්ටමකට ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් මෙවර තරගාවලියේ සිට කණ්ඩායමක් වෙනුවෙන් වියදම් කළ හැකි මූල්‍ය සීමාව ඇමරිකානු ඩොලර් මිලියනයක් හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 30.6 ක් දක්වා වැඩිකර තිබේ. එහි ප්‍රධාන අරමුණ වන්නේ වැඩි මුදලක් ගෙවමින් ලෝකයේ ඉහළම තලයේ ක්‍රීඩකයන් එල්.පී.එල්. තරගාවලිය කෙරේ ඇද ගැනීම බව අද පැවැති පුවත් පත් සාකච්ඡාවකදී තරගාවලියේ අධ්‍යක්‍ෂ සමන්ත දොඩන්වල මහතා පැවසීය. 

කණ්ඩායමකට උපරිම වශයෙන් ක්‍රීඩකයන් 24 දෙනකු බඳවාගත හැකි අතර ඔවුන්ගෙන් 6 දෙනකු විදේශීය ක්‍රීඩකයන් විය හැකිය. එහෙත් අවම වශයෙන් ක්‍රීඩකයන් 20 දෙනකු වත් කණ්ඩායමකට ඇතුළත්ව සිටීම අනිවාර්ය වේ. සෑම කණ්ඩායම් හිමිකරුවකුටම, ජූනි මාසයේදී පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසියට පෙර, සෘජු බඳවාගැනීම් සඳහා අවසර තිබේ. සෘජු බඳවාගැනීම් වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 5 කි. එනම් ශ්‍රී ලංකාවේ මුදලින් 15,30,00,000 කි. 

තරගාවලිය සඳහා ක්‍රීඩකයන් ලියාපදිංචිය පසුගිය 16 වැනිදා සිට ආරම්භ වූ අතර මේ වන විට ක්‍රීඩකයෝ 500 කට වැඩි පිරිසක් ලියාපදිංචි වී සිටිති. සෘජු බඳවාගැනීම් ඔස්සේ, ක්‍රීඩකයෝ 20 දෙනෙක් (විදේශීය ක්‍රීඩකයන් 10 දෙනකු ද ඇතුළත්ව) දැනටමත් එල්.පී.එල්. කණ්ඩායම් සමගින් ගිවිසුම්ගතව සිටිති. 

ජූනි මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසියේදී වැයකළ හැකි උපරිම මුදල ද ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 5 කි. එනම් ශ්‍රී ලංකාවේ මුදලින් 15,30,00,000 කි. එහෙත් සෘජු බඳවාගැනීම් සඳහා වෙන්කළ මුදලින් ඉතිරි කරගත් කොටස ක්‍රීඩක වෙන්දේසියේදී භාවිතා කිරීමට අවසර නොලැබේ. 

ජාතික කණ්ඩායම් (ශ්‍රී ලංකාව හෝ වෙනත් රටවල) නියෝජනය කළ ක්‍රීඩකයන්, ජාතික කණ්ඩායම් නියෝජනය නොකළ ක්‍රීඩකයන් සහ ජාතික කණ්ඩායම් වල හිටපු ක්‍රීඩකයන් වන පරිදි කාණ්ඩ 3 ක් ඔස්සේ ක්‍රීඩකයන් වර්ගීකරණය කෙරේ. එහිදී ජාතික කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයන්ට හිමි මූලික වටිනාකම් ඩොලර් 10,000 සිට ඩොලර් 50,000 දක්වා වෙනස් වනු ඇත.  ජාතික කණ්ඩායම් නියෝජනය නොකළ ක්‍රීඩකයන් සඳහා වන මූලික වටිනාකම් ඩොලර් 5,000 සිට ඩොලර් 20,000 දක්වා වෙනස් වෙයි. 

එල්.පී.එල්. තරගාවලිය ජූලි මස 31 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා පැවැත්වෙයි. මූලික වටයේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් මහ තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. 


මේ වන විටත් සෘජුවම ගිවිසුම් අත්සන් කර ඇති ක්‍රීඩකයෝ

ජැෆ්නා කිංග්ස් (යාපනය රජවරු)
ඩේවිඩ් මිලර් (දකුණු අප්‍රිකාව), රමනුල්ලා ගුර්බාස් (ඇෆ්ඝනිස්ථානය), තිසර පෙරේරා සහ මහීෂ් තීක්‍ෂණ 

කලම්බු ස්ට්‍රයිකර්ස් (කොළඹ ප්‍රහාරකයෝ) 
බාබර් අසාම් සහ නසීම් ෂා (පාකිස්තානය), මතීෂ පතිරණ සහ චාමික කරුණාරත්න 

දඹුල්ල අවුරා (දඹුල්ල රශ්මි)
මැතිව් වේඩ් (ඕස්ටේ්‍රලියාව), ලුන්ගි න්ගිඩි (දකුණු අප්‍රිකාව), කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු 

ගාල්ල ග්ලැඩියේටර්ස් (ගාල්ල සටන්කාමියෝ)
සකිබ් අල් හසන් (බංග්ලාදේශය), තබ්රේස් ශම්සි (දකුණු අප්‍රිකාව), දසුන් ශානක සහ භානුක රාජපක්‍ෂ

කැන්ඩි ෆෝල්කන්ස් (මහනුවර උකුස්සෝ)
මුජිබුර් රහමන් (ඇෆ්ඝනිස්ථානය), ෆකර් සාමන් (පාකිස්තානය), වනිඳු හසරංග සහ ඇන්ජලෝ මැතිව්ස්

 


අදහස් (0)

ක්‍රීඩකයන්ට රුපියල් කෝටි 153 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.