Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව්වෝ පරාජයෙන් ගැලවීමේ සටනක
පළමු ටෙස්ට් තරගය (සිව්වැනි දිනය)

කොදෙව්වෝ පරාජයෙන් ගැලවීමේ සටනක

editorial - 2021 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

දඟ පන්දු යවන්නන් දෙදෙනා වන ලසිත් ඇඹුල්දෙණිය (18/2) සහ රමේෂ් මෙන්ඩිස් (17/4) හමුවේ වල්මත් වූ කොදෙව් පිතිකරුවෝ මේ වන විට පරාජයෙන් ගැලවීම් සටනක යෙදී සිටිති. ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වන අද ලකුණු 347 ක ඉලක්කයක් කරා යමින් සිටි කොදෙව්වෝ  ඕවර 12 ක් නිමාවන විට ලකුණු 18 ක් ඇතුළතදී සිය හොඳම පිතිකරුවෝ 6 දෙනාම අහිමි කරගත්හ. එහෙත් නිකෲමා බෝනර් (නොදැවී 18) සහ ජොෂුවා ද සිල්වා (නොදැවී 15) එක්ව ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ට තවත් කඩුලූ නොදීමේ ව්‍යායාමයක නිරතව සිටිති.

අද පස්වරුවේ පැවැති දැඩි අඳුර හේතුවෙන් පස්වරු 4.50 ට පමණ තරගය නතර කරන විට කොදෙව් පිල සිය දෙවැනි ඉනිම සඳහා කඩුලූ 6 ක් දැවී ලකුණු 52 ක් ලබා සිටියද ශී‍්‍ර ලංකාවට වඩා ලකුණු 294 ක් පසුපසින් සිටියේය.

තරගයේ සම්පූර්ණ දිනයක් ඉතිරිව තිබෙන අතර ශී‍්‍ර ලංකා ජයග‍්‍රහණයට අවශ්‍ය වන්නේ කඩුලූ 4 ක් පමණි. හෙට උදෑසන 9.45 ට තරගය ආරම්භ වීමට නියමිතය.

දින එක හමාරකට ආසන්න කාලයකදී හැකිනම් ලකුණු 347 ක් ලබාගනිමින් පළමු ටෙස්ට් තරගය ජයගන්නා ලෙස ශී‍්‍ර ලංකා කණ්ඩායම කොදෙව්වන්ට අභියෝග  කළේය. තරගයේ සිව්වැනි දිනය වූ අද (24 වැනිදා) තේ පානයට විනාඩි කිහිපයක් ඉතිරිව තිබියදී සිය දෙවැනි ඉනිම අත්හිටුවමින් ශී‍්‍ර ලංකා නායකයා කොදෙව් පිලට මෙම අභියෝගය ඉදිරිපත් කළේය.

අභියෝගයට මුහුණ දීම කෙසේ වෙතත් ඉනිම ආරම්භයේදීම අන්ද මන්ද වූ කොදෙව්වෝ ලකුණු 18 ක් ඇතුළත පිට දඟ පන්දු යවන රමේෂ් මෙන්ඩිස්ට සහ වමතින් පා දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණියට කඩුලූ 6 ක් ම පූජා කළහ.

කොදෙව් පිතිකරුවන් පන්දුවට පහර දුන්නේ දඟ පන්දු යවන්නන් යනු කිසිදා නොදුටු ජීවීන් ලෙසිනි. පළපුරුදු ටෙස්ට් පිතිකරුවන් වන ක්‍රෙග් බ‍්‍රැත්වෙයිට් (නායක), ෂායි හෝප්, රොස්ටන් චේස්, කයිල් මේයර්ස් සහ ජේසන් හෝල්ඩර් (හිටපු නායක) ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් දෙදෙනා හමුවේ නිරුත්තරව ගියහ. රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවකට ඉදිරි පාදයේ ආරක්‍ෂාකාරී පහරක් වෙත යොමුවූ නමුත් පන්දුව කඩුල්ලට කඩා වැදීමෙන් පසුව හෝල්ඩර් ඒ දෙස බැලූවේ නින්දෙන් අවදිවූවකු ලෙසිනි.

එකම පිතිකරුවකුට හෝ ඉලක්කම් දෙකකින් කියැවෙන ලකුණු සංඛ්‍යාවක් ලබාගත නොහැකි වූ බැවින් ජොෂුවා ද සිල්වා පිටියට පැමිණීමට පෙර කොදෙව් ලකුණු පුවරුව දුරකතන අංකයක් සදිසි විය. එහෙත් පසුව එක්වූ ජෝෂුවා සහ නිකෲමා බෝනර් ලකුණු සංඛ්‍යාව 52 ක් දක්වා තල්ලූකරගෙන ගියහ.

තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 123 ක අගනා සම්බන්ධතාවක් ගොඩැනැංවූ දිමුත් කරුණාරත්න (83) සහ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 69) දෙදෙනාගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලූ 4 ක් දැවී ලකුණු 191 ක් ලබාගත්තේය. මුල් ඉනිමේදී අත්කරගත් ලකුණු 156 ක වාසියත් සමගින් ශී‍්‍ර ලංකා කණ්ඩායම ඒ වන විට ලකුණු 346 ක් ඉදිරියෙන් සිටියේය.

ටෙස්ට් ඉනිම 6 කදී පිට පිටම 6 වතාවක් ලකුණු 50 සීමාව ඉක්මවා ගිය දිමුත් කරුණාරත්න අද සිය 27 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත්තේ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉතාම වාසිදායක ස්ථානයකට කැඳවාගෙන එමිනි. කරුණාරත්නගේ අවසන් ටෙස්ට් ඉනිම 6 සටහන් වන්නේ 75, 244, 118, 66, 147 සහ 83 ක් ලෙසිනි. පැය 3 කට ආසන්න කාලයක් පිටියේ රැඳුණු ශී‍්‍ර ලංකා නායකයා පන්දු 104 කට මුහුණ දෙමින් ඒවායින් 9 ක් හතරේ සීමාවෙන් එපිටට යැවීය.

ටෙස්ට් ඉනිම 5 කට පසුව අර්ධ ශතකයක් ලබාගත් ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ජාතික කණ්ඩායමට එක්වීම අභිමානවත්ව සැමරීය. ශී‍්‍ර ලංකා දෙවැනි ඉනිම නිමා කරමින් රකීම් කොන්වෝල්ට ගැසූ හයේ පහරත් සමගින් මැතිව්ස්ගේ පන්දු 84 ඉනිමට හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් වී තිබිණ.

ඊයේ පැමිණි වර්ෂාව හේතුවෙන් පැය 3 කට වැඩි කාලයක් අපතේ ගිය අතර එහි බරපතළම අවාසිය ශී‍්‍ර ලංකා කණ්ඩායමට විය. ඒ හේතුවෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සැලසුම් සියල්ලම වෙනස් කිරීමට සිදුවූ අතර දෙවැනි ඉනිමේදී අපේක්‍ෂා කළාට වඩා වැඩි වේගයකින් ලකුණු හඹා යන්නට සිදුවිය. එහෙත් ඉතාමත් සාර්ථකව එම අභියෝයට මුහුණ දුන් ශී‍්‍ර ලංකා පිතිකරුවෝ කොදෙව් පිල අපේක්‍ෂා නොකළ ඉසව්වකට ඇද දැමූහ.

මෙම තරගය පැවැත්වෙන තණතීරුවේ ස්වභාවය අනුව සිව්වැනි ඉනිමේදී ලකුණු 300 කට වැඩි ඉලක්කයක් හඹා යාම බෙහෙවින් අසීරු කාරියකි. විනිසුරු තීරණ විමසීමේ (විතීවි) ක‍්‍රමවේදය හමුවේ, මෙම තණතීරුවේදී දඟ පන්දු යවන්නන්ට මුහුණ දෙනවාට වඩා අබලන් ගුවන් යානකින් නේපාලයේ කත්මණ්ඩු නුවරට පියාසර කිරීම සැනසිලිදායක බව කොදෙව් පිතිකරුවෝ හොඳින්ම දනිති.

 

 


අදහස් (1)

කොදෙව්වෝ පරාජයෙන් ගැලවීමේ සටනක
  • පැරකුම් Thursday, 25 November 2021 05:40 AM

    නවක ක්‍රීඩකයින් දූෂණයට ලක්වී නැති බවට ඉතා හොඳ උදාහරණයකි. කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කරයි. කල්යාමේදී පැරැන්නන් මෙන් පෞද්ගලිකත්වයෙන් හා දූෂණයෙන් යුක්තවීම වළක්වාගැනීම දුෂ්කරවනු ඇත.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.