Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලෝක ශූරයන් - අනුශූරයන්ගේ සටන
ඉන්දු - නවසීලන්ත ටෙස්ට් තරගාවලිය

ලෝක ශූරයන් - අනුශූරයන්ගේ සටන

editorial - 2021 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ ලෝක ශූරයන් වන නමුත් අනුශූරයන් වන ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදීම පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ආරම්භ කිරීමට නවසිලන්තයට සිදුවී ඇත්තේ ගුවන් ගමන් වල වෙහෙස නිවෙන්නටත් පෙරය.

එංගලන්තයේදී පැවැත් ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහ තරගය, අයි.පී.එල්. තරගාවලිය සහ ඩුබායිහිදී පැවැති ලෝක කුසලාන තරගාවලියට පසුව ඉන්දියාවේම එකිනෙකට බොහෝ ඈතින් පිහිටි නගර තුනකදී පැවැති විස්සයි-20 තරග 3 කින් පසුව ටෙස්ට් තරගාවලියට පිවිසීමට නවසීලන්ත කී‍්‍රඩකයන්ට සිදුවී තිබේ.

කුමන ආකරයේ අමාරුකම් මැද්දේ තරගාවලියට පිවිසෙන නමුත් තමන් විසින් දිනාගත් එකම ලෝක කුසලානය වන ටෙස්ට් ලෝක ශූරතාව ආරක්‍ෂා කරගැනීමට නවසීලන්තයට සිදුවී තිබේ. එය වසර දෙකක් පුරා කළ යුතු දුෂ්කර ව්‍යායාමයකි.
ඉන්දියාව සහ නවසීලන්තය අතර තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමුවැන්න හෙට (25 වැනිදා) ඉන්දියාවේ කන්පූර් නුවරදී ආරම්භ වෙයි.

නවසීලන්තය ටෙස්ට් තරගාවලියට පිවිසෙන්නේ ඉන්දියාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියේදී ලද 3-0 ක වේදනාබර පරාජයකට පසුවය.

පසුගිය ජූනි මාසයේදී එංගලන්තයේ සදම්ප්ටන් නුවරදී පැවැති ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ අවසන් මහ තරගයේදී ඉන්දියාව පරාජය කිරීම සම්බන්ධයෙන් නවසීලන්තයට සුන්දර මතක සටහන් ඇතිවාට සැක නැත. එහෙත් මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ එවන් මධ්‍යස්ථ රටක, මධ්‍යස්ථ කී‍්‍රඩාංගණයකදී නම නොවේ. දූවිල්ලෙන් ගැවසීගත්, දඟ පන්දු යවන්නන්ගේ රජදහනක් වන කාන්පූර් නුවරදීය.

එපමණක් නොවේ. නවසීලන්තය මෙම තරගාවලියට පිවිසෙන්නේ සිය හොඳම වමත් වේග පන්දු යවන්නා වන ටෙ‍්‍රන්ට් බෝල්ට් සහ කොලින් ඩි‘ග‍්‍රැන්ඞ්හෝම් දෙදෙනාම නැතිවය. ඇරත් නවසීලන්තය වසර 33 කින් මෙපිට ඉන්දියාවේදී ටෙස්ට් තරගාවලියක් තියා තරගයක් වත් ජයගෙන නැත.

”ඉන්දියාව කියන්නේ ඉතාමත් හොඳ කණ්ඩායමක්. ඔවුන්ට අති දක්‍ෂ දඟ පන්දු යවන්නන් ඉන්නවා. ඒ වගේම, ඉන්දියාව කියන්නේ ටෙස්ට් තරග කාලසටහනේ හොඳ අභියෝගයක්. අපි කාලයක් තිස්සේ ඒ වගේ අභියෝගයකට මුහුණ දීලාත් නෑ”

”මේ අභියෝගයේ තියෙන දැවැන්ත ස්වභාවය අපි නොදන්නවා නොවේ. අපි 2016 ඉඳලා ඉන්දියාවට ඇවිත් නෑ. ඒ නිසා ඉදිරියේ දී එන දේකට මුහුණ දෙනවා” යයි නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටෙඞ් මහතා කීවේය.

තරගාවලියට පෙර නවසීලන්තයට හරි හමන් පුහුණුවකට අවස්ථාවක් ලැබුණේද නැත. කොල්කටාහිදී ලද විස්සයි-20 තරගාවලි පරාජයෙන් පසුව කී‍්‍රඩකයන් ආපසු නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමට එක්වූයේ පසුගිය සඳුදාය. මේ තත්ත්වය අනුව නවසීලන්ත කී‍්‍රඩකයෝ වැඩි දෙනෙක් ටෙස්ට් තරගයකට අවශ්‍ය තරමේ ශාරීරික යෝග්‍යතාව අඩු මට්ටමක සිටිති. රොස් ටේලර් මෙන්ම නීල් වැග්නර්ද ඔවුන් අතර සිටිති.

නවසීලන්තය පමණක් නොවේ. ඉන්දියානුවෝද නවසීලන්තයේ කොටුවටම වැටී සිටිති.

එංගලන්තයේදී පැවැති ඉතාම වෙහෙසකර ටෙස්ට් තරගාවලි දෙකක්, අයි.පී.එල්. තරගාවලිය, විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සහ තවත් විස්සයි-20 තරග 3 කට සහභාගි වීමෙන් ඉන්දීය කී‍්‍රඩකයෝද හෙම්බත් වී සිටිති. මේ නිසාම ඉදිරිපෙළ කී‍්‍රඩකයන් වන විරාට් කෝලි, රෝහිත් ෂර්මා, රිෂාබ් පන්ට්, ජස්පී‍්‍රට් බුම්රා සහ මොහොමඞ් ශාමි විවේක ගන්වා සිටිති. පාදයේ ආබාධයක් හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල්ගේ සේවයද අහිමි වී තිබේ.

කෙසේ වෙතත් නවසීලන්තයට පාඩමක් උගැන්වීමේ අරමුණ ඇතිව ටෙස්ට් සංචිතයට දඟ පන්දු යවන්නන් 5 දෙනකු කැඳවා සිටින ඉන්දීය තේරීම් කමිටුව, ටෙස්ට් තරගය සඳහා ඔවුන්ගෙන් තිදෙනකු වත් එකතුකර ගැනීමට සූදානමින් සිටී. මේ අතර ඉදිරිපෙළ පිතිකරුවකු ලෙසින් ශි‍්‍රයාස් අයියර් හෙට තරගයේදී ටෙස්ට් වරම් ලැබීමට සූදානමින් සිටී.

තරගාවලියට පෙර මුහුණ දුන් අසීරු තත්ත්වයෙන් කුමක් වූවද, මේ ලෝකයේ දැනට සිටින හොඳම ටෙස්ට් කණ්ඩායම් දෙක අතර තරගාවලියයි.

 


අදහස් (0)

ලෝක ශූරයන් - අනුශූරයන්ගේ සටන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.