Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලෝක කුසලාන තරගාවලිය ඩුබායිහිදී

ලෝක කුසලාන තරගාවලිය ඩුබායිහිදී

editorial - 2021 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


ඉන්දියාවේ කොවිඩ්-19 අර්බුදය පහව නොගියහොත් මේ වසරේ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන යා හැකි බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.


අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දෙවැන ප්‍රධානතම තරගාවලිය වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය මේ වසරේ ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතය. එහෙත් තරගාවලිය ආරම්භ වීමට මාස හයක් තිබියදී, පසුගිය සිකුරාදා ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 386,452 කි. 


සෙනසුරාදා (01 වැනිදා) වන විට දිනයකදී වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලක්‍ෂ 4 ඉක්මවා ගිය අතර ඉරිදා (02 වැනිදා) මියගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3689 ක් විය. ඉරිදා දිනයේදී වාර්තා  වූ රෝගීන් සංඛ්‍යාව 392,000 ඉක්මවයි. සංඛ්‍යාත්මක දත්ත එසේ වූවත්, වෛද්‍ය විශේෂඥවරුන්ගේ මතය වන්නේ සත්‍ය සංඛ්‍යා මෙම අගයන් වලට වඩා 5 සිට 10 ගුණයක් වැඩි විය හැකි බවයි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව පසුගියදා කියා සිටියේ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය  ඉන්දියාවේ පැවැත්වීමට බැඳී සිටින නමුත් ඒ සඳහා විකල්ප සැලසුම් ඇති බවයි. එහෙත් ඒ කොතැනද යන්න සම්බන්ධයෙන් කිසිවක් කීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව උත්සුක නොවීය.

“එය එක්සත් අරාබි එමීර් රාජ්‍යය” යැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ  සාමාන්‍යාධිකාරී ධිරාජ් මල්හෝත්‍රා මහතා පසුගියදා බී.බී.සී. ප්‍රවෘත්ති සේවාවට පවසා තිබිණ. 

“අපි තරඟාවලිය එහි ගෙන යනවා. ඒත් ඒක කරන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයයි” යයිද මල්හොත්‍රා මහතා පවසා තිබිණ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රකාශකයෙකු ඉන්දියාවේ සැලැස්ම සනාථ කළේය.

කොවිඩ් - 19 සම්බන්ධයෙන් ඉන්දියාවේ තත්ත්වය කෙතරම් අයහපත් වූවත් සියලු අභියෝගයන් මධ්‍යයේ අයි.පී,එල්. තරගාවලිය ඉන්දියාවේදීම පැවැත්වෙයි. 

“වසංගතය මධ්‍යයේ අඛණ්ඩව ක්‍රියාත්මක වන ඉන්දීය ප්‍රිමියර් ලීගයේ ප්‍රගතිය අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නිරීක්ෂණය කරනු ලබමින් සිටිනවා. ඒත් මේ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගන්න තවමත් ඉක්මන් වැඩියි” යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රකාශකයෙක් රොයිටර් පුවත් සේවයට පැවසීය.

කොවිඩ් -19 වසංගතය නිසා පසුගිය වසරේ අයි.පී.එල්. තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්විණ. ඒ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ එක්සත් අරාබි එමීර් ක්‍රිකට් පාලක මණ්ඩලය අතර ගිවිසුමක් තිබිණ. 

- 213


අදහස් (0)

ලෝක කුසලාන තරගාවලිය ඩුබායිහිදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.