Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නිශාන් මධුෂ්ක ටෙස්ට් දොරටුව අබියස
නවසීලන්ත සංචාරය

නිශාන් මධුෂ්ක ටෙස්ට් දොරටුව අබියස

editorial - 2023 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර හෙට (17 වැනිදා) වෙලිංටන් නුවරදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කඩුලු රකින්නාගේ අත් ආවරණ නිශාන් මධුෂ්කට බාර කෙරෙනු ඇතැයි ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ. පළමු ටෙස්ට් තරගයේ අවසන් පන්දුවේදී පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නාව සිටි නිරෝෂන් දික්වැල්ල පිතිකරුවකු ලෙසින් මෙන්ම කඩුලු රකින්නකු වශයෙන් ද අසාර්ථක වීම ඔහුට ස්ථානය අහිමි වීමට ආසන්නම හේතුව වූ බව ද වාර්තා වේ.

මොරටු මහා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි, 23 හැවිරිදි ක්‍රීඩකයකු වන නිශාන් මධුෂ්ක, පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරය කළ එංගලන්ත දෙවැනි පෙළ (ලයන්ස්) කණ්ඩායමට එරෙහිව අති විශිෂ්ට දස්කම් දැක්වූයේය. ටෙස්ට් ක්‍රීඩකයන් කිහිප දෙනකුගෙන්ද සමන්විත වූ ලයන්ස් පිල හමුවේ, ආරම්භක පිතිකරුවකු වශයෙන්, නිශාන් මධුෂ්කගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 150, 01, 241, 22 සහ 100 ක් ලෙසිනි.

ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 331 ක අවාසියකට මුහුණ දෙමින් සිටියදී පිටියට පිවිසි නිශාන් මධුෂ්ක ලබාගත් ලකුණු 241 නිසා ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමේදී ලකුණු 663 ක් ලබාගත්හ. අවසානයේදී එංගලන්ත ලයන්ස් පිලට පරාජයෙන් ගැලවීමේ සටනක නිරත වීමට ද සිදුවිය.

වාර්තාවන පරිදි හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුවනු ඇත්තේ එක වෙනස්කමකි. එනම් නිරෝෂන් දික්වැල්ල වෙනුවට අංක 7 පිතිකරුවා වශයෙන් නිෂාන් මධුෂ්ක ආදේශ වීමයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් කඩුලු රකින්නන් දෙදෙනකු සිටියද කණ්ඩායමේ කළමණාකරණ මණ්ඩලයට සිතන්නට කාරණා තිබේ. දීර්ඝ ඉනිමක් කඩුලු රැකීමෙන් පසුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් අයකු වේලාසනින්ම දැවී ගියහොත්, අංක 3 පිතිකරුවාට ඇත්තේ වෙහෙසකර ආරම්භයකි. එබැවින් අංක 3 පිතිකරුවා වන කුසල් මෙන්ඩිස් කඩුලු රැකීම සඳහා යෙදවීමට තේරීම් කමිටුවට ඇත්තේ අකමැත්තකි.

තවදුරටත් ටෙස්ට් කඩලු රකින්නකු වශයෙන් කටයුතු කරනවා වඩා දිනේෂ් චන්දිමාල් තමන්ගේ පිතිහරඹය ගැන උනන්දු වෙමින් සිටී. චන්දිමාල් යනු එක ඉනිමකින් ටෙස්ට් තරගයක් කණපිට හැරවිය හැකි පිතිකරුවෙකි. එබැවින්, නිශාන් මධුෂ්කට අංක 7 ස්ථානයෙන් සිය ටෙස්ට් දිවිය ආරම්භ කිරීමට සිදුවනු ඇත.

නායක දිමුත් කරුණාරත්නගේ සහාය ආරම්භක පිතිකරුවා වන ඕෂධ ප්‍රනාන්දු නිර්භයව පන්දුවට පහර දෙන්නෙකි. නවසීලන්තයේ පවතින හරිත පැහැය ගත් තණතීරුවක පිතිකරුවකුගේ නිර්භීතකම සාර්ථක වුවහොත් එයින් හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබාගත හැකි බැවින් ඕෂධ සමගින් තවත් තරගයක් ඉදිරියට යාමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කළමණාකාරීත්වය හමුවේ ඇති එකම ප්‍රශ්නය නම් වේග පන්දු යවන්නන් තිදෙනකු සමගින් තරග වදින්නේද නැතහොත් ධනංජය ද සිල්වා අවස්ථාවෝචිත දඟ පන්දු යවන්නකු වශයෙන් තබාගනිමින් වේග පන්දු යවන්නන් සිව් දෙනකු සමගින් තරග වදින්නේද යන්න තීරණය කිරීමයි. 80 දශකයේදී කොදෙව්වෝ එවැනි තීන්දු වලින් සාර්ථක ප්‍රතිඵල නෙළා ගත්හ.

මෙම කාරණාව සැලකිල්ලට ගැනීමේදී වමතින් වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දුට නැවතත් කණ්ඩායමට එක්වීමේ අවස්ථාවක් ඇතත්, ඔහුගේ පන්දු යැවීමේ නිශ්චිත ඉලක්කයක් නොතිබීම නිසා වැඩි වැඩියෙන් ලකුණු ගලායාම විශ්ව හමුවේ ඇති අවාසියයි.

සිව්වැනි පන්දු යවන්නා සම්බන්ධයෙන් කණ්ඩායමේ නායකයාත්, පුහුණුකරුවාත් තේරීම් කමිටු නියෝජිතයාත් එක්ව ගනු ලබන තීරණය අවසාන තීන්දුව වනු ඇත. මේ කොයි තීන්දුවත් එක්තරා ආකාරයක අවදානමකි.

 


අදහස් (0)

නිශාන් මධුෂ්ක ටෙස්ට් දොරටුව අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.