Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දික්වැල්ලට නායක දිමුත්ගෙන් සහතිකයක්
චිතගොන් ටෙස්ට් තරගය

දික්වැල්ලට නායක දිමුත්ගෙන් සහතිකයක්

editorial - 2022 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


(ශානුක අරවින්ද)

 

අවසන් වරට ක්‍රීඩා කළ තරග දෙකේදී පිතිකරුවකු ලෙස වැඩි යමක් කිරීමට අපොහොසත් වුවද, කඩුලු රකින්නකු ලෙස දැක්වූ දක්ෂතාවන් හේතුවෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර හෙට (15 වැනිදා) ආරම්භවන පළමු ටෙස්ට් තරගයේදීත් නිරෝෂන් දික්වැල්ලට අවස්ථාව ලබා දෙන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පැවසීය.
 
සූම් තාක්ෂණය ඔස්සේ අද (13 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී දිමුත් ඒ බව කියා සිටියේය. ඔහු එසේ පැවසූවේ විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට යෑමේදී කඩුල්ල පසුපස සිට නායකයාට නිවැරදි මඟපෙන්වීමක් ලබාදීමට දික්වැල්ල යම් දුර්වර්තාවයක් දක්වන්නේදැයි මාධ්‍යවේදියකු නැඟූ පැණයකට පිළිතුරු ලබාදෙමිනි.
 
එංගලන්තයේදී ජෛව බුබුළ කඩකිරීමේ වරදට තරග තහනමකට ලක්ව සිට ඉන් මිදීමෙන් අනතුරුව දික්වැල්ල පළමු වරට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවූයේ ඉකුත් මාර්තු මාසයේදී ඉන්දීය සංචාරය සඳහාය. එම තරගාවලියේ තරග දෙකක ඉනිම් 4 කදී එක් අර්ධ ශතකයක් සමග ඔහුට ලබාගත හැකි වූයේ ලකුණු 86 ක් පමණි.

“අංක 7 ස්ථානයේ ක්‍රීඩා කරන නිසා ඔහුට (දික්වැල්ලට) වැඩිපුර දීර්ඝ ඉනිම් ක්‍රීඩා කරන්න අවස්තාව ලැබෙන්නෙ නෑ. ඒත් ලැබුණ අවස්ථාවලදිත් ඔහු ප්‍රයෝජන ගත්තේ නෑ. මම අවස්ථා කිහිපයකදීම ඔහුට පෞද්ගලිකවම කතා කරලා කිව්වා කණ්ඩායමට ඔහුගෙන් අවශ්‍ය මොනවාද කියලා. ඉදිරියෙදි ඔහු වැරදි හදාගෙන ඉස්සරහට යයි කියලා මම හිතනවා.” යැයි දිමුත් පැවසීය.

තරගය පැවැත්වෙන චිතගෝන් තණතීරුව පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් වනු ඇතැයි පැවසූ ශ්‍රී ලංකා නායකයා, බංග්ලාදේශයට සාපේක්ෂව වඩා හොඳ පිහිහරඹ ලැයිස්තුවක් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින බැවින් ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තම කණ්ඩායමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවද එහිදී කියා සිටියේය.

සුරංග ලක්මාල්ගේ සමුගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු බලෑණියට නිත්‍ය සාමාජිකයකු අහිමිවූ බැවින් නවක වේග පන්දු යවන්නන් දෙදෙනකුට කණ්ඩායමේ ඉඩ කඩ පවතින බවද දිමුත් සඳහන් කළේය. ඒ අනුව ඉන්දීය සංචාරයේදී සුරංගගේ සහයක වේග පන්දු යවන්නා ලෙස කටයුතු කළ විෂ්ව ප්‍රනාන්දු සමග අසිත ප්‍රනාන්දු හෝ කසුන් රාජිත කණ්ඩායමට එක්වීමට වැඩි ඉඩක් තිබේ.

කෙසේ වුවත් වේග පන්දු යවන්නකු වෙනුවට වේග පන්දු යැවීමේ හැකියාව ඇති තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවන්නේ නම් කණ්ඩායමේ පිතිහරඹය ලැයිස්තුවද තවත් ශක්තිමක් වනු ඇත. පිට දඟ පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් සහ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹූල්දෙණිය මෙම තරගයේදී බොහෝ දුරට කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් දෙදෙනා ලෙස කටයුතු කරනු ඇත.

ළහිරු තිරිමාන්න සංචිතයේ නොමැති බැවින් තමා සමග ඕෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන බවත්, කඩුලු රකින්නාද හැරුණු කොට තවත් පිතිකරුවන් සිවුදෙනෙක් කණ්ඩායමට ඇතුළත්වනු ඇති බවත් ශ්‍රී ලංකා නායකයා කියා සිටියේය. එහිදී කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා පිළිවෙලින් අංක 3, 4 සහ 5 යන ස්ථානවල පන්දුවට පහරදීමට නියමිත අතර 6 වැනි ස්ථානය දිනේෂ් චන්දිමාල් සහ කමිඳු මෙන්ඩිස් අතර දෝලනය වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

නම් දැරූ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් අඩු වුණත් බංග්ලාදේශය කිසිසේත්ම අවතක්සේරු නොකරන බව පැවසූ දිමුත්, නව පුහුණුකරුවන් කණ්ඩායම සමග එක්වී වැඩි කලක් නොගිය බැවින් ශ්‍රී ලංකාවද විශාල වෙනස්කම් කරා නොයමින් මෙම තරගාවලියට සහභාගි වන බවද එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. මේ වන විට චිතගෝන්හි පවතින කාලගුණික තත්ත්වය අනුව පළමු තරගයට වරින් වර වර්ෂාවෙන් බාධා එල්ල විය හැකි බවත් දිමුත් පැවසීය.  


ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, කමිල් මිෂාර, චාමික කරුණාරත්න, විෂ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රවීන් ජයවික්‍රම, සුමින්ද ලක්ෂාන් සහ දිල්ෂාන් මධුෂංක


බංග්ලාදේශ සංචිතය:
මොමිනුල් හක් (නායක), ටමීම් ඉක්බාල්, මහමුදුල් හසන් ජෝයි, නජ්මුල් හොසේන් ෂැන්ටෝ, මුෂ්ෆිකර් රහීම්, සකීබ් අල් හසන්, ලිටන් දාස්, යසීර් අලි, තයිජුල් ඉස්ලාම්, මෙහිදි හසන් මිරාස්, එබාදත් හොසේන්, ඛලීඩ් අහ්මඩ්, නුරුල් හසන්, රෙජවූර් රහ්මන් රාජා, ශොහිදුල් ඉස්ලාම් සහ ෂොරිෆුල් ඉස්ලාම්

 


අදහස් (1)

දික්වැල්ලට නායක දිමුත්ගෙන් සහතිකයක්
  • ජුනයිඩ් Saturday, 14 May 2022 08:11 AM

    ලොකු ඔලු දෙක තුන අයින් කරන්න දිමුත්ට ඕනෑකමක් නෑ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.