Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජැෆ්නා කිංග්ස්ට ලකුණු 93 ක දැවැන්ත ජයක්
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය

ජැෆ්නා කිංග්ස්ට ලකුණු 93 ක දැවැන්ත ජයක්

editorial - 2021 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(රොෂාන් ගුණරත්න)
 
පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ දක්ෂතාවයන් සමගින් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (10 වැනිදා) පැවැති ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ 9 වැනි තරගයේදී කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව ලකුණු 93 ක ජයක් හිමිකර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 208 ක ඉලක්කයක් හඹාගිය කලම්බු ස්ටාර්ස් පිලට ඕවර 15.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 114 ක් පමණි.
 
ලකුණු 31 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී 6 වැනි කඩුල්ල සඳහා එක්වූ අශාන් ප්‍රියංජන් සහ දිනේෂ් චන්දිමාල් කලම්බු ස්ටාර්ස් ඉනිම තරමක් දුරට ගොඩනැගුවද ජයග්‍රහණය කරා යෑමට තරම් එය ප්‍රමාණවත් නොවීය. ඔවුන් දෙදෙනා එක්ව 6 වැනි කඩුල්ල සඳහා පන්දු 41 කදී ලකුණු 64 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.
 
අශාන් ප්‍රියංජන් පන්දු 25 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 35 ක් ලබාගත් අතර දිනේෂ් චන්දිමාල් පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 28 ක් ලබාගැනීමට සමත්විය.
 
මහීෂ් තීක්ෂණ සහ වහබ් රියාස් කඩුලු 4 බැගින්ද වනිඳු හසරංග කඩුලු 2 ක් ද දවාගනිමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
 
කාසියේ වාසිය දිනාගත් කලම්බු ස්ටාර්ස් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා ජැෆ්නා කිංග්ස් පිලට ආරාධනා කළ අතර නියමිත ඕවර 18 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 207 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ. වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය පමාවූ අතර එක් පිලකට තරගයේ ඕවර සංඛ්‍යාව 18 කට සීමාවිය.
 
ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 10 ක් තුල පිටියෙන් ඉවත් කිරීමට කලම්බු ස්ටාර්ස් පන්දු යවන්නෝ සමත් වුවද සෙසු පිතිකරුවන් හමුවේ ඔවුන් දැඩි ප්‍රහාරයකට ලක්වූහ.
 
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක තිසර පෙරේරා පන්දු 23 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 57 ක් රැස් කළේය. ඊට අමතරව ටොම් කැඞ්මෝර් පන්දු 21 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 40 ක් ද, ශොයිබ් මලික් පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 44 ක් සහ අශේන් බණ්ඩාර පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 42 ක් ලබාගනිමින් ජැෆ්නා කිංග්ස් පිල ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.
 
ටොම් කැඞ්මෝර් සමගින් තෙවැනි කඩුල්ල සඳහා පන්දු 28 කදී ලකුණු 60 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ශොයිබ් මලික් ඉන් නොනැවතී සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 27 කදී තවත් ලකුණු 44 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය. ඊට අමතරව අශේන් බණ්ඩාර සහ තිසර පෙරේරා එක්ව 5 වැනි කඩුල්ල සඳහා පන්දු 24 කදී ලකුණු 39 ක සම්බන්ධතාවක්ද පැවැත්වූහ.
 
සියලු පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක්වන විට සීකුගේ ප්‍රසන්න සිය ඕවර 4 ලකුණු 31 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය.
 
ජැෆ්නා කිංග්ස් - ඕවර 18 කදී කඩුලු 6 ක් දැවී 207
(ටොම් කැඞ්මෝර් 40, ශොයිබ් මලික් 44, අශේන් බණ්ඩාර 42, තිසර පෙරේරා නොදැවී 57, සීකුගේ ප්‍රසන්න 31/3)
 
කලම්බු ස්ටාර්ස් - ඕවර 15.5 කදී සියලුදෙනා දැවී 114
(අශාන් ප්‍රියංජන් 35, දිනේෂ් චන්දිමාල් 28, මහීෂ් තීක්ෂණ 25/4, වහබ් රියාස් 26/4, වනිඳු හසරංග 17/2)

අදහස් (0)

ජැෆ්නා කිංග්ස්ට ලකුණු 93 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.