Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජයවික්‍රම වික්‍රමාන්විත පන්දු යැවීමක

ජයවික්‍රම වික්‍රමාන්විත පන්දු යැවීමක

editorial - 2021 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 
(දමින්ද විජේසූරිය).
 
ප්‍රවීන් ජයවික්‍රමගේ වික්‍රමාන්විත පන්දු යැවීම නිසා බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 251 කට සීමාකරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේදී ලකුණු 242 ක මුල් ඉනිමේ වාසියක් තමන් වෙත රඳවා ගත්හ.

පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අවදානම බංග්ලාදේශ පිල මත පැටවීමේ පහසු අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට තිබිණ. එහෙත් තණතීරුවේ ස්ථාවර ස්වභාවයෙන් තවත් ටිකක් ප්‍රයෝජන ගනිමින්, එහි අභාග්‍ය සම්පන්න අන්තයට බංග්ලාදේශ පිල වීසිකර දැමීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා කණ්ඩායම පිති අතට ගත්තේය. තුන්වැනි දිනය අවසන් වූයේ බංග්ලාදේශයට වඩා ලකුණු 259 ක් ඉදිරියෙන් ශ්‍රී ලංකාව සිටිමිනි. ඒ වන විට ලකුණු 17 කට ශ්‍රී ලංකා පිලේ කඩුලු 2 ක් අහිමි වී තිබිණ.

තේ පානයෙන් පසුව බංග්ලාදේශ පිල සම්පූර්ණයෙන්ම අසරණ කර දැමූ ප්‍රවීන් ජයවික්‍රම සහ සුරංග ලක්මාල් දෙදෙනා ඉතිරිව තිබූ කඩුලු 6 න් කඩුලු 5 ක්ම බෙදාහදා ගත්හ. තේ පානයට පෙර අවසන් ඕවරයේදී ආරම්භ වූ බංග්ලාදේශයේ කඩුලු බිඳ වැටීමේ පෙරහැර නිමා වූයේ ලකුණු 37 ක් තුළදී කඩුලු 7 ක් අහිමිකරගනිමිනි.

මුෂ්ෆිකුර් රහීම් දැවී යාමට පෙර කඩුලු 3 කට ලකුණු 214 ක් ලෙසින් සටහන්ව තිබූ ලකුණු පුවරුව ඕවර කිහිපයක් ඇුතුළත ලකුණු 251 කට සියලු දෙනාම දැවී ගිය බව සටහන් කළේය. පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ තණතීරුව නියමිත ප්‍රමිතියට නැතැයි කී අන්තර්ජාතික ක්‍රිකට් සභාවට එය කදිම අතුල් පහරක් ද විය.

ශ්‍රී ලංකාවේ වසර 39 ක ටෙස්ට් ඉතිහාසය තුළ කෝඩුකාරයන්ගේ හොඳම පන්දු යැවීම වාර්තා කළ ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 92 කට කඩුලු 6 ක් දවාගත්තේ උපුල් චන්දන සතුව තිබූ වාර්තාව (179/6) හිමිකරගනිමිනි.

ටමීම් ඉක්බාල්ට ඇත්තේ පුදුම අපලයකි. ඔහු පිට පිටම ඉනිම තුනක් තුළ තුන්වැනි වතාවටත් ශතකය අහිමි කරගත්තේය. බංග්ලාදේශ ආරම්භක පිතිකරුවා මෙම ඉනිම තුනේදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 256 කි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ තරුණ දඟ පන්දු යවන්නන් දෙදෙනාගේ සාර්ථක පන්දු යැවීම හේතුවෙන් තුන්වැන දිනයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ වාසිය රඳවාගත්හ.

ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගාවලියේ ඉනිම තුනේදී ටමීම්ගේ ලකුණු ලබාගැනීම සටහන් වන්නේ 90, නොදැවී 74 සහ 92 ක් ලෙසිනි. වසර 13 ක් තිස්සේ (2008 සිට 2021) ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 11 කට සහභාගි වෙමින්, අර්ධ ශතක 7 ක් ලබාගෙන ඇතත් ටමීම් තවමත් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ටෙස්ට් ශතකයක් ලබාගෙන නැත. මේ වතාවේදී ටමීම්ගේ සිහිනය දියකර හැරියේ කෝඩුකාර ප්‍රවීන් ජයවික්‍රමයි.

පන්දු යැවීමේ කෝණය තරමක් වෙනස් කරමින් පිතිකරුවා වෙත පන්දුව ඇදෙන රේඛාව තරමක් දුරට කෙළින් කළ ප්‍රවීන් එහි වේගයද යම්තාක් දුරට අඩාළ කළේය. ටමීම් අපේක්‍ෂා කළ තරමට දඟ නොකැවුණු පන්දුව පිත්තේ පිටත දාරයේ වැදී ස්ලිප්හි සිටි ළහිරු තිරිමාන්න වෙත ඇදී ගියේ කෝඩුකාර පන්දු යවන්නාට ලෝකයේ ඉදිරිපෙළ පිතිකරුවකුගේ කඩුල්ලක් තිළිණ කරමිනි.

ටමීම් දැවී ගියත් පිටියට පිවිසියේ බංග්ලාදේශයේ වඩාත්ම පළපුරුදු පිතිකරුවා මෙන්ම හිටපු නායකයාද වන මුෂ්ෆිකුර් රහීම්ය. ඔහු ලෙහෙසියෙන් උගුලට අසුවන තාලේ පිතිකරුවකු නොවන බැවින් හෝරාවකට වැඩි කාලයක් කඩුල්ල රැකගත්තේය. එහෙත් උත්සාහය අතහැරියේ ප්‍රවීන් නොවේ.

විනිසුරු රුචිර පල්ලියගුරුගේ මහතා ඉල්ලීමට එකඟ නොවූවත්, විතීවි සහාය ඉල්ලා ගැනීමෙන් පසුව මුෂ්ෆිකුර් පිටියෙන් ඉවත් කිරිමට ප්‍රවීන්ට හැකිවූයේය.

මෙම තරගාවලිය්දී ඉනිම දෙකකදී ලකුණු 108 ක් ලබා සිටින මුෂ්ෆිකුර් රහීම් ඒවායින් ලකුණු 29 ක් හැර ඉතිරි ලකුණු සියල්ලම ලබාගෙන ඇත්තේ දඟ පන්දු යවන්නන් හමුවේදීය. ඔහු කෙතරම් හොඳින් දඟ පන්දු යවන්නන්ට මුහුණ දෙන්නේද යන්න මෙය කදිම සාක්‍ෂියකි

සුරංග ලක්මාල් සහ විශ්ව ප්‍රනාන්දු හමුවේ බංග්ලාදේශ ආරම්භක පිතිකරුවෝ සමාදානයෙන් කටයුතු කළහ. වේග පන්දු යවන්නන්ගේ දුර්වල පන්දු පමණක් හතරේ සීමාවට යැවූ සයිෆ් සහ ටමීම් දෙදෙනා, පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 98 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. එහෙත් සැබෑ සෙල්ලම පටන් ගත්තේ ශ්‍රී ලංකා නායකයා විසින් දඟ පන්දු යවන්නන් දෙදෙනා කැඳවනු ලැබීමෙන් පසුවය.

ඊයේ සවස තරගය නතර කරන විට ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 469 ක් ලබා සිටියද තුන්වැනි දිනයටත්, තවත් ටිකක්, පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ කවර අරමුණක් ඇතිවද යන්න අපහැදිළිය. ඒ නිරෝෂන් දික්වැල්ලගේ මංගල ටෙස්ට් ශතකය වෙනුවෙන් නම් විය නොහැකිය. මක්නිසාද යත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 493 දී ඉනිම නවත්වන විටත් දික්වැල්ල නොදැවී ලකුණු 77 ක් ලබා සිටි බැවිනි.

කෙසේ වෙතත් බංග්ලාදේශ පිතිකරුවන් පිටියට එවීමේ ප්‍රතිඵල ශ්‍රී ලංකා නායකයාට ගෙනැවිත් දුන් ප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා දිවා ආහාරයට පෙර තමන් විසින් යවන ලද අවසන් ඕවර දෙකේදීම කඩුලු දෙකක් දවාගත්හ. සයිෆ් හසන් දවාගැනීම ජයවික්‍රමගේ මංගල ටෙස්ට් කඩුල්ල වූ නමුත් ඔහු ටමීම් දවාගත් අකාරය ගැන වඩාත් තෘප්තිමත් වනු ඇත.

 

 


අදහස් (0)

ජයවික්‍රම වික්‍රමාන්විත පන්දු යැවීමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.