Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches දෙපිලම කරට කර සිටින සටනක්

දෙපිලම කරට කර සිටින සටනක්

යොහාන් භාසුර - 2020 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ පැරණිතම පාසල් දෙකක් වන කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර 141 වැනි වරටත් පැවැත්වෙන ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය හෙට (12 වැනිදා) එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තෙදින තරගයක් වන තරගය 14 වැනිදා අවසන් වීමට නියමිතය.

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පැරණිතම පාසල් ක්‍රිකට් තරගය වන මෙම තරගය 1879 වසරේ ආරම්භ විය. දෙවිදුහල් අතර මෙතෙක් පැවැති මහ තරගවලදී රාජකීය විදුහල තරග 35 ක්ද, සාන්ත තෝමස් විදුහල තරග 34 ක්ද ජය ලබා ඇති අතර ඉතිරි තරග විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

රාජකීය විදුහල අවසන් වරට 2016 වසරේ ගීෂාත් පණ්ඩිතරත්නගේ නායකත්වයෙන් ජයගත්තේය. ශාන්ත තෝමස් විදුහල පසුගිය වසරේ (2019) සිතාර හපුහින්නගේ නායකත්වයෙන් මහ තරගය ජය ලැබීය. මෙවර රාජකීය විදුහල් පිලේ නායකයා ලෙස තෙවිඳු සේනාරත්න ද සාන්ත තෝමස් විදුහල් පිලේ නායකයා ලෙස තෙවින් ඊරියගම ද කටයුතු කරති.

සුපුරුදු පරිදි මෙම තරග වාරයේ කණ්ඩායම් දෙකම සම බර දස්කම් දක්වමින් පූර්ණ ජයග්‍රහණ හතර බැගින් ලබා තිබේ. මෙය තුන්දින තරගයක් වීම හේතුවෙන් මෙවර ද තියුණු අවසානයක් බලාපොරොත්තු විය හැකිය.

රාජකීය විදුහල් පිල මෙම තරග වාරයේ තරග 15 කට සහභාගි වී කටුගස්තොට ශාන්ත අන්තෝනි, කොළඹ ආනන්ද, කඳාන ද මැසිනොද් සහ ඉසිපතන යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ ලැබූ අතර මරදාන ශාන්ත ජෝශප් සහ ගාල්ල මහින්ද යන විදුහල්වලට එරෙහිව පළමු ඉනිමේ ජය ලැබීය.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කරමින් යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ප්‍රබල පිතිකරුවකු වන කමිල් මිෂාර සහ ප්‍රවේගකාරී පිතිකරු අහන් වික්‍රමසිංහ මෙවර කොළඹ රාජකීය විදුහල් පිලට දැවැන්ත ශක්තියක් එකතු කරති.

වයස 19 න් පහළ සංචිතය නියෝජනය කිරීමෙන් හේතුවෙන්  කමිල් සහ අහන් සහභාගි වූ පාසල් තරග සංඛ්‍යාව අඩු වූවද කමිල් සිය පාසල වෙනුවෙන් සහභාගි වූ තරගවලදී ලකුණු 75.00  කට වැඩි සාමාන්‍යක් පවත්වාගනිමින් ලකුණු 600 ක් ලබා තිබේ. පාසල වෙනුවෙන් සහභාගි වූ තරග වලදී අහන් කුණු 60.00 කට වැඩි සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 425 ක් ද, රැස්කිරීමට සමත්ව සිටී. කවිඳු මදාරසිංහ (ලකුණු 578) සහ ඉසිවර දිසානායක (ලකුණු 495) මෙම තරග වාරයේ රාජකීය විදුහල් පිලේ ලකුණු අතර සිටින සෙසු ප්‍රබල පිතිකරුවෝ වෙති.

රාජකීය විදුහල් පිලේ ප්‍රබලතම පන්දු යවන්නන් දෙපළ වන පිට දඟ පන්දු යවන ගිෂාන් බාලසූරිය (කඩුලු 61) සහ පා දඟ පන්දු යවන ප්‍රෂාන් කල්හාර (කඩුලු 54) මෙවර සාන්ත තෝමස් විදුහල් පිතිකරුවන්ට දැඩි අභියෝගයක් යොමු කිරීමට සූදානමින් සිටිති.

සාන්ත තෝමස් විදුහල මෙම තරග වාරයේ තරග 17 කට සහභාගිවී යාපනය ශාන්ත ජෝන්, පන්නිපිටිය ධර්මපාල, අම්බලන්ගොඩ ධර්මාශෝක සහ කොළඹ ආනන්ද යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ ලබා තිබේ. මහනුවර ත්‍රිත්ව, මොරටුව වේල්ස් කුමර සහ කොළඹ නාලන්දා යන විදුහල්වලට එරෙහිව පළමු ඉනිමේ ජය ලබා ඇත.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කරමින් යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වූ රවිඳු රෂාන්ත සහ වයස 19 න් පහළ පිල නියෝජනය කළ වමතින් වේග පන්දු යවන යසිරු රොද්‍රිගු මෙවර සාන්ත තෝමස් විදුහල් කණ්ඩායමේ වඩාත් කැපී පෙනෙන චරිත දෙක බවට පත්ව තිබේ.  මෙවර සාන්ත තෝමස් විදුහල් පිලේ ප්‍රබලතම පිතිකරුවන් ලෙස රයන් ප්‍රනාන්දු (ලකුණු 564), මනීෂ රූපසිංහ (ලකුණු 544), උමයංග සුවාරිස් (ලකුණු 513), ගැවින් බොතේජු (ලකුණු 507), ශලීන් ද මෙල් (ලකුණු 466) සහ දිල්මින් රත්නායක (ලකුණු 456) හැදින්විය හැකිය.

දකුණතින් පා දඟ පන්දු යවන දිල්මින් රත්නායක මෙම තරග වාරයේ කඩුලු 64 ක් දවාගනිමින් සාන්ත තෝමස් විදුහල් පිලේ ප්‍රබලතම පන්දු යවන්නා බවට පත්ව සිටියි. ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ වමතින් වේග පන්දු යවන යසිරු රොද්‍රිගු කඩුලු 38 ක් දවාගනිමින් සාන්ත තෝමස් විදුහල් වේගපන්දු බලඇණිය ශක්තිමත් කරයි.

නායක තෙවින් ඊරියගම (කඩුලු 26), ජී. කැනිස්ටන් (කඩුලු 18) සහ රන්දිව් ගුණසේකර (කඩුලු 15) සාන්ත තෝමස් පන්දු යැවීමේ අංශය ශක්තිමත් කරන සෙසු පන්දු යවන්නෝ වෙති.

 

රාජකීය විදුහල් සංචිතය:
තෙවිඳු සේනාරත්න (නායක), මනුල පෙරේරා, කවිඳු මදාරසිංහ, අහන් වික්‍රමසිංහ, කමාල් මිෂාර, ඉසිවර දිසානායක, කවිඳු පතිරත්න, තිතිර වීරසිංහ, ගිෂාන් බාලසූරිය, කෞෂාන් කුලසූරිය, ළහිරු මධුසංඛ, ප්‍රෂාන් කල්හාර, ෂෙහාන් හේරත්, දසිත් මංචනායක, හරිඳු ඵළිහවඩන, සොනාල් අමරසේකර සහ සදීෂ රාජපක්‍ෂ
ප්‍රධාන පුහුණුකරු: ජෙහාන් මුබාරක් මහතා

සාන්ත තෝමස් විදුහල් සංචිතය:
තෙවින් ඊරියගම (නායක), රයන් ප්‍රනාන්දු, මනීෂ රූපසිංහ, රවිඳු රෂාන්ත, උමයංග සුවාරිස්, ගැවින් බොතේජු, ශලීන් ද මෙල්, දිල්මින් රත්නායක, ක්‍රිෂාන් මුණසිංහ, යසිරු රොද්‍රිගු, ඩියෝන් ප්‍රනාන්දු, ශම්මික වික්‍රමතිලක, අනුක් පළිහවඩන, ජී. කැනිස්ටන්, රොමේෂ් මෙන්ඩිස්, ඩිරේන් ද සිල්වා, තෙනුක ලියනගේ, මොහොමඞ් ඉෂාක් සහ රන්දිව් ගුණසේකර
ප්‍රධාන පුහුණුකරු: දිනේෂ් කුමාරසිංහ මහතා


අදහස් (0)

දෙපිලම කරට කර සිටින සටනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.