Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches රාජකීය - තෝමස් නිල් මහ සටන මැයි 6 - 8 දක්වා

රාජකීය - තෝමස් නිල් මහ සටන මැයි 6 - 8 දක්වා

රොෂාන් ගුණරත්න - 2021 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර ‘ඩී.එස්.සේනානායක අනුස්මරණ කුසලාන’ වෙනුවෙන් පැවැත්වෙන ‘නිල් මහ සටන’ 142 වැනි වාර්ෂික මහ ක්‍රිකට් තරගය මැයි මස 6, 7 සහ 8 යන දිනයන්හිදි හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

‘නිල් මහ සටන’ පළමු වරට 1880 වසරේදී ආරම්භවූ අතර ලොව අඛණ්ඩව පැවැත්වෙන ක්‍රිකට් තරග අතර දෙවැනි දීර්ඝතම ක්‍රීකට් තරගය ලෙස ඉතිහාසගත වෙයි. ‘නිල් මහ සටන’ ආරම්භවීමට වසරකට පෙර ආරම්භ කරන ලද ඕස්ටේ්‍රලියාවේ ඇඩිලේඩ් ශාන්ත පීතර විදුහල සහ ඇඩිලේඩ් ඇල්ෆ්‍රඩ් කුමර විදුහල් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගය ලොව දීර්ඝතම ක්‍රිකට් තරගය ලෙස ඉතිහාසගත වෙයි. 

 මෙවර පැවැත්වෙන 142 වැනි ‘නිල් මහ සටනේදී කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දක්ෂ පිතිකරුවකු වන අහන් වික්‍රමසිංහට හිමිවී ඇති අතර සාන්ත තෝමස් විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ශලීන් ද මෙල්ට හිමිවී ඇත.

දෙවිදුහල් අතර මේ දක්වා වාර්ෂික මහ ක්‍රිකට් තරග 141 ක් පවත්වා ඇති අතර තරග 35 බැගින් ජයගැනීමට විදුහල් දෙක සමත්වී ඇත. තරග 71 ක් ජය පරාජයෙන් තොරව අවසන්වී ඇත.

කොළඹ රාජකීය විද්‍යාලය අවසන් වරට 2016 වසරේදී ගීශාන්ත් පණ්ඩිතරත්නගේ නායකත්වයෙන් කුසලානය හිමිකරගත් අතර අවසන් වරට 2019 වසරේදී සිතාර හපුහින්නගේ නායකත්වයෙන් කුසලානය තමන් සතුකර ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත්විය.

කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් හිටපු අගමැතිවරුන්වන ඩී.එස්.සේනානායක (1901-1902) සහ ඩඩ්ලි සේනානායක (1927-1929) යන මහත්වරුන්ද ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් ශ්‍රීමත් ජෝන් කොතලාවල (1914-1915) අගමැතිතුමා සහ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා (1925) නිල් මහ සටන සදහා සිය පාසල් නියෝජනය කළ කීර්තිමත් රාජ්‍ය නායකයෝ වෙති.

කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් රංජන් මඩුගල්ල, අසන්ත ද මෙල්, ජයන්ත අමරසිංහ, ජෙහාන් මුබාරක්, කිත්රුවන් විතානගේ, කුසල් ජනිත් පෙරේරා ඇතළු ක්‍රීඩකයින් රැසක්ද ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් මයිකල් තිසේරා, අනුර තෙන්නකෝන්, දුලීප් මෙන්ඩිස්, ගයි ද අල්විස්, ජීවන් මෙන්ඩිස්, කෞෂාල් සිල්වා, රනිල් අබේනායක ඇතළු ක්‍රීඩකයින් රැසක්ද ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට සමත්වූහ.

කොරෝනා වයිරස් අවදානම් තත්වය හේතුවෙන් මෙවර 19 න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලිය නොපැවැත්වුණු අතර එක්දින තරගාවලියක් පමණක් පැවැත්වීමට පාසල් ක්‍රිකට් සංගමය තීරණය කර ඇත. 

පළමු කොටසේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ මූලික වටයේ තරග 5 කට සහභාගිවෙමින් එහි සියලු තරග ජයගත් රාජකීය විද්‍යාලය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය. අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ නාලන්දා විද්‍යාලය කඩුලු 6 කින් පරාජය කළ රාජකීය විද්‍යාලය මේ වනවිට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත.

පළමු කොටසේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ ක්‍රීඩා කරමින් ඔවුන් සහභාගිවූ තරග 5 න් එක් තරගයක් පමණක් ජයගත් සාන්ත තෝමස් විද්‍යාලය ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වූ අතර තරගාවලියේ මූලික වටයෙන්ම ඔවුන්ට ඉවත්වීමට සිදුවූහ.

තරග 6 කට ක්‍රීඩාකර ඇති රාජකීය විද්‍යාලයේ නායක අහන් වික්‍රමසිංහ ශතකයක් සහ අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 410 ක් රැස්කරමින් මේ වනවිට වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණ ගෙන ඇත. ලකුණු 118 ක් රැස්කළ අහන් වික්‍රමසිංහ ඉනිමක රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 102.50 ක් ලෙස රැඳවාගෙන ඇත. පන්දු 100 කදී ලකුණු ලබාගැනීමේ වේගය 104.86 ක් ලෙස සටහන්වේ.

ඉසිවර දිසානායක ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 216 ක්, කවිඳු පතිරත්න අර්ධ ශතකයක් සමගින් ලකුණු 161 ක්, සදීෂ රාජපක්ෂ ලකුණු 155 ක් සහ සිනෙත් ජයවර්ධන අර්ධ ශතකයක් සමගින් ලකුණු 128 ක් ලබාගනිමින් මෙවර රාජකිය විදුහල් පිතිකරණ බලඇණිය ශක්තිමත් කරනු ඇත.

ඩෑන් පොද්දිවෙල, කවිඳු පතිරත්න, ගිහාන් බාලසූරිය, දසිස් මංචනායක රාජකිය විදුහල් පන්දුකරන අංශය ශක්තිමත් කරන පන්දු යවන්නෝ වෙති.

කොළඹ රාජකීය විදුහල් සංචිතය:
අහන් වික්‍රමසිංහ (නායක), ඉසිවර දිසානායක, කවිඳු පතිරත්න, සදීෂ රාජපක්ෂ, සිනෙත් ජයවර්ධන, උවිදු වීරසේකර, දසිස් මංචනායක, රෙසඳු තිලකරත්න, සෙහාන් හේරත්, අෂේන් ගමගේ, ප්‍රෂාන් කල්හාර, සොනාල් අමරසේකර, ගිහාන් බාලසූරිය, ඩෑන් පොද්දිවෙල, නෙති පනාපිටිය, උතුම් දිසානායක.

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් සංචිතය:
ශලීන් ද මෙල් (නායක), දිසෙන් ද සිල්වා, නේතන් කල්දේරා, කනික දයාරත්න, මහිත් පෙරේරා, ඇන්ඩෘ තිරිමාන්න, රන්දීව් ගුණසේකර, තෙනුක ලියනගේ, සහන් විමුක්ති, රයන් ප්‍රනාන්දු, එනෝෂන් දෙව්චන්ද්‍ර, මුයිස් නව්ශාන්, අනුක් පලිහවඩන, ජී.කැනිස්ටන්, තිෂේන් ඇහැලියගොඩ, යසිරු රොඩි්‍රගූ, සුධක්ෂ ප්‍රනාන්දු, අකිර පෙරේරා, ලෙෂාන් කන්දේගෙදර, අනීෂ් කමලචන්ද්‍ර, සෙනේෂ් හෙට්ටිආරච්චි, රොමේෂ් මෙන්ඩිස්, විනුජ විජේබණ්ඩාර, ජනිදු අබේවර්ධන, විනෙත් බණ්ඩාරනායක, යොරික් තිරිමාන්න.


අදහස් (0)

රාජකීය - තෝමස් නිල් මහ සටන මැයි 6 - 8 දක්වා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.