Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මීටර 800 තරු තුනක් හැපෙයි

මීටර 800 තරු තුනක් හැපෙයි

editorial - 2021 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A



 
-------------------
නාමල් පතිරගේ
-------------------

සුපිරි ධාවන ශූරියන් තිදෙනෙකු තරග වදින මීටර් 800 (කාන්තා) ඉසව්ව කෙරෙහි හෙට (සිකුරාදා) කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වෙන ජාතික මළළ ක්‍රීඩා තේරීම් තරගාවලියේ දී ඉහළම අවධානය යොමු වේ. මෙම ඉසව්වේ අවසන් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ හෙට පෙරවරු 9.00 ටය.

ආසියානු ශූරතා රන් පදක්කම්ලාභිණී නිමාලි ලියනආරච්චි, ආසියානු ගෘහස්ථ ශූරතා රන් පදක්කම්ලාභිණී ගයන්තිකා අබේරත්න හා සාෆ් රන් පදක්කම්ලාභිණී ඩිල්ෂි කුමාරසිංහ මෙම ඉසව්ව වෙනුවෙන් තරග වදිති.

මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට වසර 2017 සිට හිමිකම් කියන්නේ විනාඩි 2 තත්පර 02.55 කට තරගය නිමකළ ගයන්තිකා අබේරත්නයි. මෙම ඉසව්වේ නිමාලි ලියනආරච්චිගේ මෙතෙක් හොඳම තරග නිමි කාලය විනාඩි 2 තත්පර 02.58 කි. විනාඩි 2 තත්පර 02.80 ක් සිය හොඳම කාලය ලෙස වාර්තා කිරීමට ඩිල්ෂි කුමාරසිංහ සමත්ව තිබේ.

ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගි වූ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලිය වන වසර 2019 දෙසැම්බරයේ ‘කත්මන්ඩු’ නුවර දී පැවති 13 වෙනි සාෆ් ක්‍රීඩා උළෙලේ දී ඩිල්ෂි කුමාරසිංහ විනාඩි 2 තත්පර 06.18 කට මීටර් 800 (කාන්තා) ඉසව්වේ රන් පදක්කම් දිනා ගන්නා අතර ගයන්තිකා අබේරත්නට හිමිවූයේ එහි රිදී පදක්කමයි. ඒ විනාඩි 2 තත්පර 08.52 කටය.
මීටර් 800 ඉසව්වේ ශ්‍රී ලංකාවේ දැනට සිටින හොඳම ධාවන ශූරියන් තිදෙනා එකට මුණගැසීමේ අවස්ථාව කත්මන්ඩු නුවරදී  වැරදී ගියේ හදිසි අනතුරකින් නිමාලි ලියනාරච්චි තුවාල ලැබීම නිසා ‘සාෆ්’ තරග සංචාරය අවසන් මොහොතේ දී අත්හැර දැමීමට සිදුවීමෙනි.

ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබාගැනීමට නම් මීටර 800 ක්‍රීඩිකාවන් සඳහා වන අවම සුදුසුකම විනාඩි 1 තත්පර 59.50 කි.

අද පැවැති මීටර් 800 (පිරිමි) ඉසව්වේ මූලික වටයේ ප්‍රතිඵලයන්ට අනුව ඉදිරියෙන්ම පසුවූයේ විනාඩි 1 තත්පර 51.92 කට යුද හමුදා ක්‍රීඩක ජී.ආර්. චතුරංගයි. එහි අවසන් වටය අද පැවැත්වේ.

මේ අතර පළමු මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ අද පැවති දිනයේ පැවති ඉසව් බහුතරයක් මූලික තරග වට සඳහා පමණක් සීමා වූ බැවින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපී පෙනෙන දක්ෂතා වාර්තා නොවීය. එහෙත් අද කනිෂ්ඨ වයස 20න් පහළ කාණ්ඩයේ ඉසව් කීපයක දක්ෂතා පළ විය. ඒ අතරින් කැපී පෙනෙන්නේ තුන් පිම්ම (පිරිමි) ඉසව්වෙන් මීටර් 15.50ක දක්ෂතාවයන් පළ කළ පාසල් ශිෂ්‍ය කේ.ඒ. පසිඳු මල්ෂාන්ය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිල දත්ත සටහන්කරු සමන් කුමාර ගුණවර්ධන මහතා පවසන අන්දමට ඔහුට ඊයේ තවත් සෙන්ටිමීටර 10 ක දුරක් පැනිය හැකිවූයේ නම් කෙන්යාවේදී ලබන ජූලි මාසයේ දී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව තිබිණ.  තේරීම් තරගාවලියේ පළමු දිනයේ දී කනිෂ්ඨ කාණ්ඩයේ මීටර් 400 (පිරිමි) ඉසව්ව තත්පර 47.25 කට නිමා කළ ඉසුරු කෞශල්‍ය එම  දක්ෂතාව හමුවේ කෙන්යානු ලෝක කනිෂ්ඨ ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් නිර්දේශ ලබාගත් පළමු ක්‍රීඩකයායි.

උස පැනීම (පිරිමි) ඉසව්වේ අද දිනයේ දක්ෂතාව මීටර් 2.11 කට සීමා විය. දක්ෂතාව දැක්වූයේ තරිඳු දසුන් විසිනි.  ඇමරිකාවේ දැනට වෙසෙන උෂාන් තිවංක පෙරේරා පසුගිය මාර්තු 27 වැනිදා ටෙක්සාස් හිදී පැවති මළල ක්‍රීඩා තරගාවලියක දී වසර 17කට පසුව මෙම ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට සමත්වූයේ මීටර් 2.28 ක උසක් පනිමිනි.

මීටර් 100 (කාන්තා) ඉසව්වේ ක්‍රීඩිකාවන් අතරේ හොඳම දක්ෂතාවය පළ කළ අමාෂා ද සිල්වා අද දිනයේදී මීටර 200 (කාන්තා) ඉසව්වේ මූලික වටය තත්පර 24.67 කට නිමා කරමින් හෙට පැවැත්වෙන එහි අවසන් තරගය‍ෙ සුදුසුකම් ලබා ගත්තාය. එහි අවසන් තරගයේදී  තත්පර 24.75 ක දක්ෂතාවයක් පළ කළ නදිෂා රාමනායක මෙන්ම තත්පර 25.32 ක දක්ෂතාවයන් පළ කළ සදීපා හෙන්ඩර්සන් ද හෙට තරග කරති.

මීටර් 200 (පිරිමි) මූලික වටයේ දී අරුණ දර්ශන තත්පර 21.45 ක් ලෙසත් ඒ.එස්.ඩබ්. සෆාන් තත්පර 21.22 ක් පරිදිත් දක්ෂතා පළ කරමින් හෙට පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබා සිටිති.  අරුණ දර්ශන පසුගිය සාෆ් ක්‍රීඩා උළෙලේ දී මීටර 400 (පිරිමි) ඉසව් රන් පදක්කම්ලාභියායි.


අදහස් (1)

මීටර 800 තරු තුනක් හැපෙයි
  • Dinadi Saturday, 24 April 2021 02:59 AM

    සුපිරියි...!!! 

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.