Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජපානයට පැමිණි උගන්ඩා සංචිතයේ සාමාජිකයකුට කොරෝනා

ජපානයට පැමිණි උගන්ඩා සංචිතයේ සාමාජිකයකුට කොරෝනා

editorial - 2021 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඔලිම්පික් උළෙලේ පෙර පුහුණුවීම් සඳහා ඊයේ (19 වැනිදා) ජපානයට පැමිණ ඇති උගන්ඩා සංචිතයේ සාමාජිකයකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත. ඒ අනුව ඔලිම්පික් උළෙල සහභාගි වීම සඳහා ජපානයට පැමිණීමෙන් අනතුරුව කොව්ඩ්-19 ආසාදිතයකු ලෙස හඳුනාගත් පළමු පුද්ගලයා ලෙස ඔහු හැදින්විය හැකිය.

ඉකුත් වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙල මෙම වසරේ දක්වා කල් දැමුණ අතර මේ වන විට එය ජපානය තුළ හටගෙන ඇති නව කොවිඩ්-19 රැල්ලක්ද නොතකමින් ජූලි මස 23 වැනිදා ආරම්භ වීමට නියමිතව පවතී.

උගන්ඩාවේද කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වීම ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින අතර ඒ හේතුවෙන් ඉකුත් සිකුරාදා (18 වැනිදා) රට අගුළු දැමීමේ පියවර දැඩි කිරීමට එරට රජයට සිදුවිය.

නම දෙනකුගෙන් සමන්විත උගන්ඩා සංචිත‍යට ඇතුළත් ‍මෙම ‍කොවිඩ්-19 ආසාදිතයා කවුදැයි යන්න තවමත් හෙළිකොට නොමැති නමුත් ඔවුන් සියලු දෙනා කොරෝනා මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවට වාර්තා වේ.  

බොක්සිං ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ නිලධාරීන් කිහිපදෙනකුගෙන් සමන්විත එම සංචිතයේ සියලුම සාමාජිකයන් උගන්ඩාවෙන් පිටත්වීමට පෙරද පරීක්ෂණයකට මුහුණදී ඇති අතර එහිදී ඔවුන්ට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇත.

කෙසේ වුවත් ඊයේ ටොකියෝ නුවර නරිටා ගුවන්තොටුපල වෙත පැමිණීමෙන් පසුව මුහුණදී ඇති පරීක්ෂණයේදී ඔවුන්ගෙන් එක් අයකු කොවිඩ්-19 ආසාදිතයකු බව තහවුරු වී ඇති අතර මේ වන විට ඔහු නිරෝධායන ක්‍රියාවලියකට ලක් කොට තිබේ. 

උගන්ඩා සංචිතයේ සෙසු සාමාජිකයන් බටහිර ජපානයේ ඔසාකා නුවර බලා පිටත්කර යවා ඇති අතර එහිදී ඔවුන් ඔලිම්පික් උළෙල වෙනුවෙන් සිය පෙර පුහුණුවීම්වල නිරත වනු ඇත.

ඔලිම්පික් උළෙලේ පෙර පුහුණුවීම් සඳහා ජපානයට පැමිණි දෙවැනි විදෙස් කණ්ඩායම මෙම උගන්ඩා කණ්ඩායම වන අතර මින් පෙර මෙම මස 1 වැනිදා ඕස්ට්‍රේලියානු කාන්තා සැහැල්ලු පන්දු කණ්ඩායමක් පුහුණුවීම් සඳහා ජපානයට පැමිණ ඇත. ‍‍

ජපානය තුළ පවතින තත්ත්වය මත විදෙස් ප්‍රේක්ෂකයන්ට මෙවර ඔලිම්පික් උළෙල තහනම් කිරීමට සංවිධායකයන් පියවර ගෙන ඇති අතර දේශීය ප්‍රේක්ෂකයන්ට ඊට සහභාගී වීමට අවසර ලබාදෙන්නේද නැද්ද යන්න පිළිබඳව හෙට (21 වැනිදා) අවසන් තීරණයකට එළඹීමට නියමිතය.

-036


අදහස් (0)

ජපානයට පැමිණි උගන්ඩා සංචිතයේ සාමාජිකයකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.