Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මලල ක්‍රීඩා සියවස් සමරුව අප්‍රේල් 7 දා

මලල ක්‍රීඩා සියවස් සමරුව අප්‍රේල් 7 දා

editorial - 2021 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සියවස් සමරු මලල ක්‍රීඩා නිල ලාංඡනය එළිදැක්වූ අයුරු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු උප සභාපති අජිත් නාරගල යන මහත්වරුද මෙහි වෙති.
 

(නාමල් පතිරගේ)

වසර 2022 ජනවාරි 22 වැනිදාට යෙදී තිබෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සියවස් සමරැව නිමිත්තෙන් ලබන අප්‍රේල් 7 වැනිදා ආසියානු මලල ක්‍රීඩා සංගමයේ සභාපති කටාර් ජාතික දහලාන් ජුමාන් අල් හමාඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී නිල සමරු උත්සවය පැවැත්වේ.

ඒ නිමිත්තෙන් එදින උත්සව ශාලාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් විශේෂ සමරු මුද්දරයක් හා මුල් දින කවරයක්ද නිකුත් කෙරේ. එදිනම පස්වරුවේදී දකුණු ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ විධායක සභා රුස්වීමක්ද කොළඹදී පැවැත්වීමට සැළසුම් කර තිබේ.

ආසියාවේ රටක තෙවැනි පැරුණිතම මලල ක්‍රීඩා පරිපාලන ඒකකය වන්නේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයයි. එය ලංකා මලල ක්‍රීඩා සංගමය නමින් 1922 ජනවාරි 2 වැනිදා ස්ථාපිත කර තිබේ.

එහි පළමු සභාපතිවරයා වන්නේ සුදු ජාතික කර්නල් වී, වයි. රයිට් මහතාය. ප්‍රධාන ලේකම් ධුරයට එම අවස්ථාවේ පත්වූයේද සුදු ජාතිකයෙකුවන ආර්. ඩබ්ලිව්. තැටෙක් මහතාය.

පසුව ශ්‍රී ලංකා ආධුනික මලල ක්‍රීඩා සංගමය ලෙස මලල ක්‍රීඩා පරිපාලනය හැඳින්වීමේදී වසර 2002 දී එහි ‘ආධුනික’ නාමය ඉවත්කර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ලෙස හැඳින්වීම ඇරැඹුණි.

අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමය වර්තමානයේ හැඳින්වෙන ‘වර්ල්ඩ් ඇත්ලටික්ස්’ හෙවත් ‘ලෝක මලල ක්‍රීඩා යන නාමයට අනුගතවෙමින් වසර 2018 සිට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිල නාමය ශ්‍රී ලංකා ඇත්ලටික් හෙවත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා (ආයතනය) යනුවෙන් ව්‍යවහාර කෙරේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සිය සියවස් සමරුවට සූදානම් කෙරෙන උත්සව හා වැඩ සටහන් මාලාව සඳහා භාවිතයට …යොදා ගැනෙන නිල ලාංඡනය හා නිල ධජය එළිදැක්වීම නොබෝදා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තලවතුගොඩදී සිදු කෙරුණි.

සියවස් සමරු නිල ලාංඡනය නිර්මාණය කර ඇත්තේ කොළඹ නාලන්දා විදුහල් සිසුවෙකුවන බිම්සර ගුණවර්ධනය. ඔහු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිල දත්ත සටහන්කරැ ලෙස වසර 30 කට ආසන්න කාලයක් පුරා කටයුතු කරන මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ හිටපු සභාපති සමන් කුමාර ගුණවර්ධන මහතාගේ පුත්‍රයාය.

මලල ක්‍රීඩාව ලෝක මානවයා හා බැඳී තිබෙන ආකාරයක් එහි පවතින සමානාත්මතාවයත් නිල් පසුබිමෙන් යුත් සමාන ධාවන පථ සමූහයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා සියවස් සමරු නිල ලාංඡනයට අන්තර්ගතය.

එම ලාංඡනය සහිත සුදු පසුබිමෙන් යුත් ධජය සියවස් සමරු ධජයයි. නිල ලාංඡනය එළිදැක්වීමේ උත්සවයේදී ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පැවැසුවේ මෙරට මලල ක්‍රීඩා සියවස් සමරුවට කළ හැකි හොඳම ගෞරවය වන්නේ එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී (2022) මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව පදක්කම් කීපයක් දිනා ගැනීම බවයි.

1922 දී ස්ථාපිත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධුරය දැරෑ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ 1944 දී එම ධුරයට පත් ජී. එස්. ඩබ්. ද සේරම් මහතායි. එහි ලේකම් ධුරය දැරෑ පළමු ශ්‍රී ලාංකිකයා වන ඩබ්. එම්. බී. පෙරේරා මහතා 1927 දී එම ධුරයට පත්ව 1948 දක්වා අඛණඩව එම ධුරය දරා තිබේ.

වැඩිම කාලයක් එහි සභාපති ධුරය දැරීමේ ගෞරවය ලබන්නේ 1952 දී ධුරයට පත්ව 1966 දක්වා කටයුතු කළ සුදු ජාතික සී. ටී. වෑන්. හෙයිෂල් මහතායි.

පරිපාලන අර්බුද පැන නැගුණු 1983-85 කාලසීමාවේදීත් නැවත 1992 දීත් ක්‍රියාත්මක වූයේ අතුරැ කමිටුය. ඒ අතර වාර්තාගතවී ඇත්තේ 1994 වසර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය හෝ ඒ වෙනුවට අතුරැ කමිටුවක් ක්‍රියාත්මක නොවූ සමයක් ලෙසයි.

එදා මෙදා තුර මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධුරය දැරෑවන් ගණන 25 කි. ඉන් දැනට ජීවතුන් අතර සිටින හිටපු සභාපතිවරැ ගණන හතකි. 1938 සිට 1981 දක්වා පුරා වසර 43 ක්ම සංගමයේ නිල දත්ත සටහන්කරැ ලෙස කටයුතු කර ඇත්තේ ජෝන් පෙරේරා මහතාය.

මෙරට කීර්තිමත් දේශපාලනඥයන් කීප දෙනකුද මෙරට මලල ක්‍රීඩා පරිපාලනයේ මුල් පුටුව හොබවා තිබේ. වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා 1997 දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධුරය දරා තිබේ.

හිටපු ඇමැතිවරයකු වන දිවංගත ලලිත් ඇතුලත්මුදලි, කැබිනට් ඇමැතිවරයකු වන ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුද ඒ අතරින් කැපී පෙනේ.

ආසියානු ක්‍රීඩා හා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා පදක්කම් ලාභියෙකුවන ‘විදුලිපුර ධාවකයා’ ලෙස ප්‍රචලිත වූ සුගත් තිලකරත්න මහතා 2015 සිට 2017 දක්වා එම ධුරය දරා තිබේ.

ආසියානු ක්‍රීඩා රන් පදක්කම්ලාභී මලල ක්‍රීඩිකා දමයන්ති දර්හා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ වත්මන් උප සභාපතිනියකි. ආසියානු ක්‍රීඩා ලෝකඩ පදක්කම්ලාභිනියක් වන කඩුළු පැනීමේ හිටපු ශූරී ශ්‍රියානි කුලවංශ මහත්මියද වරක් මලල ක්‍රීඩා සංගමයේ නිලවරණයට ඉදිරිපත්වී හිටපු ක්‍රීඩිකාවකි.

 

වසර 2022 ජනවාරි 22 වැනිදාට යෙදෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සියවස්
සමරුවට සූදානම් කෙරෙන වැඩ සටහන්

ජනවාරි 22:- සියවස් සමරු අර්ධ මැරතන් තරගාවලිය දකුණු ආසියානු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේද සහභාගිත්වයෙන් බත්තරමුල්ල දියත උයනේදී
අප්‍රේල් 7:- සියවස් සමරු උත්සවය ආසියානු මලල ක්‍රීඩා සභාපති අල් හමාඩ් අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ සම්භාවනීය සහභාගිත්වයෙන් ඒ සඳහා සාෆ් කලාපයේ රටවල ජාතික මලල ක්‍රීඩා සංගම් සභාපතිවරු ආරාධනා ලබා තිබේ.
අප්‍රේල් 7:- දකුණු ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ විධායක හමුව කොළඹදී
අප්‍රේල් 8-9-10:- සියවස් සමරු ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය කොළඹ සුගතදාස පිටියේදී
මැයි 19-20:- දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය කොළඹ සුගතදාස පිටියේදී සියවස් සමරුව දක්වා ශ්‍රී ලංකාව දිනා ඇති ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර මලල ක්‍රීඩා පදක්කම්


අදහස් (0)

මලල ක්‍රීඩා සියවස් සමරුව අප්‍රේල් 7 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.