Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics නිලානිගේ අවස්ථාව අහිමි වෙයි

නිලානිගේ අවස්ථාව අහිමි වෙයි

editorial - 2021 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

අවසන් දින කිපයකදී වූ වෙනස්කම් හේතුවෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සහභාගිත්වය මීටර් 3000 බාධක දිවීමේ ක්‍රීඩිකා නිලානි රත්නායකගෙන් අනපේක්‍ෂිත ලෙස ගිලිහි ගොස් එම අවස්ථාව මීටර් 800 ක්‍රීඩිකා නිමාලි ලියනආරච්චිට ඊයේ (5) නිල වශයෙන් හිමි වූවාය. ඒ අනුව මෙම 23 වැනිදා ජපානයේ ටෝකියෝ නුවර දී ආරම්භ වන ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවෙන් නිර්දේෂ ලබා සිටින සෙසු එකම ක්‍රීඩකයා වන්නේ මීටර් 100 (පිරිමි) ඉසව්වෙන් තරග වදින යුපුන් අබේකෝන්ය.

1996 ‘ඇට්ලන්ටා’ ඔලිම්පික් උළෙලෙන් පසුව එම ඉසව්වෙන් ඔලිම්පික් උළෙලකට නිර්දේශ ලබන ශ්‍රී ලාංකික කෙටි ධාවන ශූරයා වන්නේ යුපුන් අබේකෝන්ය. 1992 දී බාසිලෝනා ඔලිම්පික් උළෙලෙන් පසුව මීටර් 800 (කාන්තා) ඉසව්වට තරග වදින පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට නිමාලි ලියනආරච්චි ඒ අනුව පත්ව සිටින්නීය.  බාසිලෝනා ඔලිම්පික් උළෙලේ දී මීටර් 800 (කාන්තා) ඉසව්වට තරග වැදුණු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වූයේ ධම්මිකා මැණිකේය.

ප්‍රසාද ලකුණු ක්‍රමය යටතේ යුපුන් අබේකෝන් ටෝකියෝ ඔලිම්පික් උළෙලට නිර්දේශ ලබන්නේ මීටර් 100 (පිරිමි) ඉසව්ව සඳහා තෝරා ගත් මුළු ක්‍රීඩකයන් 56 දෙනා අතරින් 46 වැනි ස්ථානයට පත්වීමෙනි.

1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලේදී චින්තක ද සොයිසාගෙන් පසුව පළමුවරට මීටර් 100 (පිරිමි) ඉසව්වට ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී තරග වදින යුපුන් අබේකෝන් ඉතාලියේ නේවාසිකව පුහුණුවීම් හදාරණ අතර පසුගිය මැයි 13 වැනිදා මෙරට පැවති තරගාවලියේදී තත්පර 10.15ක සිය මෙතෙක් හොඳම දක්‍ෂතාව වාර්තා කරමින් එහි ශ්‍රී ලංකා වාර්තාවේ අඛණ්ඩ හිමිකාරිත්වය ද ලබා ගත්තේය.

ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා මීටර් 100 (පිරිමි) ඉසව්වේ අවම සුදුසුකම තත්පර 10.05 කි.
ටෝකියෝ ඔලිම්පික් නිර්දේෂ තහවුරු කරගත් යුපුන්  සමඟ ඔහුගේ පෞද්ගලික පුහුණුකරු ඉතාලි ජාතික ෆ්ලෝඩියෝ නිකාඩිකෝ මහතා ද ජපානය බලා පැමිණේ. එම අවස්ථාව නිමාලිගේ පෞද්ගලික පුහුණුකරු සුජිත් අබේසේකර මහතාට ද හිමිව තිබේ.

කෙසේ වුවත් මෙවර ‘ටෝකියෝ’ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සහභාගිත්වය ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනකුට සිමාවී තිබේ. එහි විශේෂත්වය වන්නේ මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් ප්‍රසාද ලකුණු ක්‍රමය යටතේත්, නිමාලි ලියනආරච්චි සුදුසුකම් නොලත් පංගු ක්‍රමය (වයිල් කාඩ්) යටතේත් වන ක්‍රමවේ ද දෙකකින් ඔලිම්පික් නිර්දේශ ලබා ගැනීමයි.

ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් වඩාත් ආසන්නයෙන් සිටි බාධක දිවීමේ ක්‍රීඩිකා නිලානි රත්නායක පසුගිය ජුනි 25 වැනිදා වන විට අනපේක්‍ෂිත අයුරින් ශ්‍රේණිගත කිරීම් වලින් පහළට කඩා වැටුණි. නිලානි ශ්‍රේණිගත කිරීම් අතරේ 41 වැනි ස්ථානයේ සිට 46 වැනි ස්ථානය සඳහා පහළට ඇද වැටුණාය.  ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 3000 බාධක දිවීම කාන්තා ඉසව්ව සඳහා සහභාගි කර ගන්නා ක්‍රීඩිකාවන් ගණන 45 කට සීමාවන බැවින් ඒ සඳහා අවස්ථාව ඇත්තේ ශ්‍රේණිගත ක්‍රීඩිකාවන් 45 දෙනාට පමණි.

නිලානිට ටෝකියෝ ඔලිම්පික් උළෙලේ වරම් අවසන් මොහොතේ ගිළිහි ගිය තවත් බාධකයක් වූයේ බාධක දිවීම, දස ප්‍රයාම, සත් ප්‍රයාම හා මීටර් 10000 යන දිගු දුර ධාවන ඉසව් සඳහා ඔලිම්පික් උළෙලේදී පංගු ක්‍රමය යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේෂ කිරීමක් නොවන බැවිනි.

මෙම තත්ත්වය යටතේ පංගු ක්‍රමයෙන් සුදුසුකම් ලබා සිටි මීටර් 800 ක්‍රීඩිකා නිමාලි ලියනආරච්චි අනපේක්‍ෂිත ආකාරයෙන් ඊයේ ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් නිර්දේශ තහවුරු කර ගත්තාය. නිමාලි ඒ වනවිට මීටර් 800 කාන්තා ඉසව්වේ ටෝකියෝ ඔලිම්පික් සහභාගිත්ව නිර්දේශ අනුව 55 වැනි ස්ථානයට පත්ව සිටියාය.

නිමාලි ලියනාරච්චිගේ මෙම ඉසව්වේ මෙතෙක් හොඳම දක්‍ෂතාව වසර 2017 දී විනාඩි 2 තත්පර 05.8 ක් ලෙස වාර්තා වී තිබේ. ඇය අවසන් වරට පසුගිය ජුනි 27 වැනිදා ‘පතියාලා’ නගරයේදී පැවැති සමස්ත ඉන්දීය අන්තර් ප්‍රාන්ත තරගාවලියේදී විනාඩි 2 තත්පර 02.57 දක්‍ෂතාවයක් පෙන්වමින් ලෝකඩ පදක්කමක් හිමි කර ගත්තාය.  පසුගිය මැයි 21 වැනිදා ඇය අවසන් වරට දේශීය තරගාවලියකට සහභාගි වෙමින් 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පළමු අදියරේදී විනාඩි 2 තත්පර 06.69 ක දක්‍ෂතාවක් වාර්තා කර තිබේ.

කෙසේ වුවත් මීටර් 800 (කාන්තා) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට මේ වනවිට හිමිකම් කියන්නේ ඩිල්ෂි කුමාරසිංහය. ඒ විනාඩි 2 තත්පර 02.52කටය. එහෙත් නිමාලි ලියනආරච්චි සතුව මීටර් 1500 (කාන්තා) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව  (විනාඩි 4 තත්. 15.86) තවමත් ඇය සතුව පවතී.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිල දත්ත සටහන්කරු, ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ හිටපු සභාපති සමන් කුමාර ගුණවර්ධන මහතා පැවසුවේ පසුගිය වසරකට වැඩි කාලයක් පුරා ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ඇතුළුව තීරණාත්මක ජාත්‍යන්තර තරග ගණනාවක් අහිමිවීම තුළින් ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි දෙනකුට ඔලිම්පික්  සුදුසුකම්  ලබාගැනීමට තිබූ අවස්ථාව මගහැරී ගිය බවයි.

 


අදහස් (0)

නිලානිගේ අවස්ථාව අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.