Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව World Cup 2019 ශ්‍රී ලංකාව හා තරගයට ජේසන් රෝයි නෑ

ශ්‍රී ලංකාව හා තරගයට ජේසන් රෝයි නෑ

editorial - 2019 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාදයේ කලව පිටුපස මස්පිඬුවේ ආබාධයක් හේතුවෙන් එංගලන්ත පිලේ ආරම්භක පිතිකරු ජේසන් රෝයිට මීළඟ ලෝක කුසලාන තරග දෙකම අහිමි වී තිබේ. එබැවින් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලබන සිකුරාදා (21 වැනිදා) ලීඞ්ස්හිදී පැවැත්වෙන තරගය ද ජේසන් රෝයිට මඟහැරෙනු ඇත.

ජේසන්ගේ වම් පාදයේ කලව පිටුපස මස්පිඬුව ඉරීයාම ඊට හේතුව වී ඇතැයි එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය ඊයේ නිවේදනය කළේය. 

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරගයේදී ජේසන් රෝයි මෙම ආබාධයට මුහුණ දුන්නේය. ඒ හේතුවෙන් එංගලන්තය සහ ඇෆ්ඝනිස්ථානය අතර අද (18 වැනිදා) පැවැත්වෙන තරගයට ක්‍රීඩා නොකරන ජේසන් වැඩිදුර ආරක්‍ෂාව සඳහා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගයෙන්ද ඉවත් වී සිටී. 

දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදී උපත ලද ජේසන් රෝයි මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කළේ දකුණු අප්‍රිකානු පිලට එරෙහිව අර්ධ ශතකයක් ලබාගැනීමෙනි. අනතුරුව පාකිස්තානයට එරෙහිව ලකුණු 8 කට දැවී ගිය ජේසන් රෝයි බංග්ලාදේශයට එරෙහිව කාඩීෆ්හිදී පැවැති තරගයේදී අගනා ලකුණු 153 ක් ලබාගත්තේය. තුවාල ලැබීම නිසා කොදෙව් පිලට එරෙහි තරගයේදී ජේසන් රෝයි පන්දුවට පහර දීමෙන් වැළකී සිටියේ ආබාධයට වඩා අවශ්‍යතාවක් නොතිබූ බැවිනි. කොදෙව් පිලට එරෙහිව ලකුණ 213 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම කඩුලු 8 කින් එය ජයගත්තේය. 

කෙසේ වෙතත් මෙම ආබාධය නිසා ජේසන් රෝයිගේ ලෝක කුසලාන තරගාවලිය නිමා නොවන බව එංගලන්ත නායකයා කියයි. 

“ජේසන් නැවත වතාවක් මේ තරගාවලියේදී ක්‍රීඩා කරන බව මට ස්ථිරවම කියන්න පුළුවන්. ඔහු ඊළඟ තරග දෙකට ක්‍රීඩා නොකළත් ඔහු අපේ සංයුතියේ විශාල කොටසක්. අනෙක ඔහු මේ වන විට ඉතාමත් හොඳින් ලකුණු අතර සිටිනවා. ඒ නිසා ඔහුගේ නැවත පැමිණීම අපට ඉතා වැදගත්” යයි ද එංගලන්ත නායකයා පැවසීය. 

කොදෙව් පිලට එරෙහිව පැවැති තරගයේදී පිටකොන්දේ වේදනාවකින් පීඩා විඳි එංගලන්ත නායක ඔයින් මෝගන් ඇෆ්ඝනිස්ථානයට එරෙහිව අද පැවැත්වෙන තරගයට සහභාගි වනු ඇතැයි වාර්තා වේ. ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පුහුණුවීම් කිරීමෙන් පසුව පැමැණි මෝගන් කීවේ අඟහරුවාදා තරගයට තමන් සූදානමින් සිටින බවයි. 

“ඒක හිතාගන්නත් බැරි විදිහට සනීප වුණා. මම පුහුණු දැළ තුළදී පන්දුවට පහර දුන්නා. දැන් මට හොඳයි. අඟහරුවාදා තරගයට මම සහභාගි වෙනවා. තරගය තියෙන්නෙ අද නම් මට අද වුණත් සෙල්ලම් කරන්න පුළුවන්” යයි මෝගන් ඊයේ පැවසීය. 

 

..


අදහස් (0)

ශ්‍රී ලංකාව හා තරගයට ජේසන් රෝයි නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.