Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව World Cup 2019 ලකුණු 232 ක ප්‍රමාණවත් බව දැන හිටියා

ලකුණු 232 ක ප්‍රමාණවත් බව දැන හිටියා

editorial - 2019 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(යොහාන් භාසුර, ලීඞ්ස් හෙඩින්ලි ක්‍රීඩාංගණයේ සිට...) 

ලකුණු 232 ක ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් බව මුල සිටම අවබෝධයෙන් සිටි බවත් ඒ හේතුවෙන් නිරන්තරයෙන් තරගයේ රැඳීසිටි බවත් ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තයට එරෙහිව තරගයේ ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න පැවසීය.  

ලීඞ්ස්හි හෙඩින්ලි ක්‍රීඩාංගණයේ පසුගිය සිකුරාදා (21) පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 20 ක ජයක් ලැබීය. 

දිමුත් කරුණාරත්න තරගයෙන් පසු මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් මෙසේ ද පැවසීය. 

“ඇන්ජලෝ පන්දුවට පහර දෙන විට විවේකාගාරයට තොරතුරු එව්වා. ඔහු අපිට කිව්වා මේ තණතීරුවේ ගහන්න පහසු නෑ. පහරවල්වලට යන්න බෑ. වේග පන්දු යවන්නන් වරින් වර දාන්නේ. ඒ වගේ තොරතුරු ලැබුණා”

“ඇන්ජලෝ ගොඩක් අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක්, ඔහු දන්නවා තණතීරුව හැසිරෙන්නෙ කොහොමද කියලා. ඒ නිසා අපි දැනගෙන හිටියා මේ ලකුණු සංඛ්‍යාව ප්‍රමාණවත් කියලා. නමුත් ඇන්ජලෝ කියපු විදියට අපිට ලකුණු 250 ක් රැස්කරන්න බැරි වුණා”

“තණතීවේ තත්ත්වය පිළිබඳව අවබෝධයක් තිබුණ නිසා අපි සෑම විටම තරගයේ එල්ලිලා හිටියා. අපි දැනගෙන හිටියා කොයි මොහොතේ හෝ කඩුලු දෙක තුනක් ගත්තොත් තරගයට පිවිසෙන්න හැකියාව තියෙනවා කියලා”
“ඒත් සමඟම මාලිංග සහ ධනංජය ඉතාමත් හොඳින් පන්දු යැව්වා”

ලෝක එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටින එංගලන්තය පරාජය කිරීම පිළිබඳව කළ විමසුමේදී දිමුත් මෙසේ පැවසීය. 

“ලෝකේ අංක එක හෝ අවසානයේ ඉන්න කණ්ඩායමක් වුවත් මොන කණ්ඩායමට එරෙහිව ලැබුවත් ජයග්‍රහණයකින් කණ්ඩායමට ලොකු ආත්මශක්තියක් ලැබෙනවා. මේ තරගය අපි ගොඩක් හොඳට ක්‍රීඩා කළ තරගයක්. අපි අංශ තුනම හොඳට කරනවා නම් තරග ජය ගන්න පු`ඵවන්”

“අපිට ඉදිරියේදී දකුණු අප්‍රිකානු තරගයේ සිට අවස්ථාව තියෙනවා. අවසන් පූර්ව වටයට පිවිසීම කියන ඉලක්කය නොවෙයි අපේ තියෙන්නේ. ගොඩක් ඉස්සර කියලා හිත්නෙ නෑ. එහෙම හිතන එක එච්චර හොඳ නෑ. තරගයෙන් තරගයට ඉදිරියට යෑම අපේ සැලසුමයි”

යොවුන් ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දුගේ පිතිහරඹය පිළිබඳව දිමුත් මෙසේ අදහස් දැක්වීය. 

“අවිෂ්ක ගොඩක් හොඳ පිතිකරුවෙක්. ඔහු පුහුණුවීම්වලදී පන්දුවට පහර දෙන ආකාරයට අපි එය දැනගෙන හිටියා. ඔහුට අවස්ථාව දෙන්න අපිටත් උවමනාවක් තිබුණා. කණ්ඩායමේ සංයුතිය කියන දේ නිසා තමයි ඔහුට අවස්ථාව අහිමිවුණේ”

“එංගලන්තය වැනි කණ්ඩායමක් සමඟ ක්‍රීඩා කරන විට වේගයෙන් ලකුණු රැස්කරන ක්‍රීඩකයකුගේ අවශ්‍යතාව තිබුණා. ආරම්භක පිතිකරුවකු ලෙස ඔහු හොදින් ක්‍රීඩා කර තිබූ නිසා විශ්වාස කරලා ඔහුට ඒ අවස්ථාව දුන්නා. ඔහු ඒ වගකීම හොදින් ඉටු කළා. අවිෂ්ක ප්‍රවීණ ක්‍රීඩකයෙක් වගේ කිසිඳු බයක් සැකක් නැතුව පන්දුවට පහර දුන්නා. ඔහු දැන් රැස්කරන ලකුණු 30 හෝ 40 විශාල ලකුණු සංඛ්‍යාවක් බවට පත්කිරීම පිළිබඳව අපි ඉදිරියේදී සැලසුම් කළ යුතුයි”

තරගයේ වීරයා වූ ලසිත් මාලිංග දෙවැනි වරටත් ශ්‍රී ලංකාවට ගොස් කණ්ඩායමට එක්ව දැක්වූ දස්කම් පිළිබඳව කළ විමසුමේදී දිමුත් මෙසේ අදහස් පළ කළේය. 

“මාලිංග කියන්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ වීරයක්. ඔහු කණ්ඩායමට පැමිණියම විශාල ශක්තියක් ලැබෙනවා. ඔහු ඕනෑම අවස්ථාවක සාර්ථක වෙන්න හැකියාව තියෙන පන්දු යවන්නෙක්. ඒ නිසා ඔහු කණ්ඩායමට එක්වුණේ මොන අවස්ථාවේ ද කියලා අපිට වැදගත් නෑ”

ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාවට තවත් තරග තුනක් ඉතිරිව තිබේ. ශ්‍රී ලංකාව සහභාගි වන හත්වැනි තරගය දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්හැම්හිදී මේ මස 28 වැනිදා පැවැත්වීමට නියමිතය.    

 


අදහස් (0)

ලකුණු 232 ක ප්‍රමාණවත් බව දැන හිටියා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.