Last Update  :  2024-03-29 19:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව World Cup 2019 පන්දු යවන්නෝ ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

පන්දු යවන්නෝ ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

editorial - 2019 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නුවන් ප්‍රදීප් (31/4) ඇතුළු පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඇෆ්ඝනිස්තානයට එරෙහිව කාඩිෆ්හිදී අද (4 වැනිදා) පැවැති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 34 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 187 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්තානයට ඕවර 32.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 152 ක් පමණි.

හුදකලා සටනක නිරත වෙමින් පන්දු 56 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 43 ක් රැස්කළ නජිබුල්ලා සඩ්‍රාන් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට දිමුත් කරුණාරත්න සමත්වීමත් සමගින් ජයග්‍රහණයේ වැඩි වාසී ශ්‍රී ලංකාවට හිමිවිය.

ලකුණු 57 කට කඩුලු 5 ක් දැවී අසීරූ අඩියක සිටි ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට යළි ජයග්‍රහණයේ බලාපොරොත්තු ඇති කරමින් 6 වැනි කඩුල්ල සඳහා පන්දු 67 කදී ලකුණු 64 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ගුල්බදීන් නයිබ් සහ නජිබුල්ලා සඩ්‍රාන් සමත්වූහ. නමුත් එම සම්බන්ධතාවයට තිත තබමින් ලකුණු 23 ක් රැස්කර සිටි ගුල්බදීන් නයිබ් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගනිමින් දවාගැනීමට නුවන් ප්‍රදීප් සමත්විය.

ඉන් නොනැවතුණු නුවන් ප්‍රදීප් සිය එක්දින දිවියේ හොදම පන්දු යැවීම වාර්තා කරමින් රෂීඞ් ඛාන්ගේ කඩුල්ලද දවාගනිමින් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට රැගෙන ඒමට සමත්විය.

යළිත් ක්‍රියාත්මකවූ නුවන් ප්‍රදීප් සහ තිසර පෙරේරා ඇෆ්ඝනිස්තාන් ලකුණු පුවරුව 57 ක් වන විටදී හෂ්මතුල්ලා ෂහිඩි සහ මොහොමඞ් නබී දවාගනිමින් තරගයේ වැඩි වාසී ශ්‍රී ලංකා පිල වෙත නතුකර ගැනීමට සමත්වූහ.
ලකුණු 24 ක් රැස්කර සිටියදී ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ හස්රතුල්ලා සසායි ලබාදුන් පහසු උඩපන්දුවක් කුසල් මෙන්ඩිස් අතහැරීම නිසා තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව උදාවුවද තවත් ලකුණු 6 ක් තුළ ඔහුව පිටියෙන් ඉවත් කිරීමට නුවන් ප්‍රදීප් සමත්විය. පන්දු 25 කට මුහුණදුන් හස්රතුල්ලා සසායි හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 30 ක් රැස්කිරීමට සමත්විය.

හස්රතුල්ලා සසායිගේ වේගවත් පිතිහරඹය හමුවේ ඇෆ්ඝනිස්තානය සාර්ථක ආරම්භයක් ලබාගත්තද ලකුණු 10 ක් තුළ පිතිකරුවන් තිදෙනෙකු පිටියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

මැදපෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හමුවේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට ඕවර 36.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 201 ක් පමණි. ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඇෆ්ඝනිස්තානයට ඕවර 41 කදී ලකුණු 187 ක ඉලක්කයක් හිමිවිය.

වර්ෂාව හේතුවෙන් තරගය මිනිත්තු 150 ක පමණ කාලයක් නතර කිරීමට සිදුවූ අතර එක් පිලකින් ඕවර 9 බැගින් අඩුකිරීමට විනිසුරුවන්ට සිදුවූහ.

වර්ෂාවට තරගය නතර කරනවිට ඕවර 33 කදී කඩුලු 8 කට ලකුණු 182 ක් රැස්කරගෙන සිටි ශ්‍රී ලංකාවට වර්ෂාවෙන් පසුව යවන ලද ඕවර 3.5 කදී ඉතිරි කඩුලු 2 ද අහිමිවූ අතර ලකුණු 19 ක් ශ්‍රී ලංකා ඉනිමට එක්විය.
තරගයේ 22 වැනි ඕවරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් පමණක් දැවී ලකුණු 144 ක් ලබා සිටියද මොහොමඞ් නබීගේ විනාශකාරී ඕවරයෙන් පසුව ලකුණු 5 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳ වැටිණ. තිසර පෙරේරා දුවද්දී දැවී යාම හේතුවෙන් ලකුණු 15 ක් ඇතුළත බිඳ වැටුණු කඩුලු සංඛ්‍යාව 5 ක් විය.

ආරම්භයේ සිට වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වුවද අනෙක් පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් කඩුලු එකින් එක දැවීයන විට තම කඩුල්ල ආරක්‍ෂා කරගැනීමට කුසල්ට සිදුවිය. සිය 12 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත් කුසල් පෙරේරා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව තනිවම හෝ ඉහළට ගෙන යාමට උත්සාහ කිරීමේදී දැවී ගියේය.

රෂීඞ් ඛාන්ගේ පන්දුකට රිවර්ස් ස්විප් පහරක් ගැසීමට යාමේදී කඩුලු රකින ක්‍රීඩක මොහොමඞ් ශසාඞ්ට උඩපන්දුවක් දෙමින් දැවී ගිය කුසල් පෙරේරා පන්දු 81 කට මුහුණදෙමින් හතරේ පහර 8 ක් සමගින් ලකුණු 78 ක් රැස්කර සිටියේය. ආරම්භක පිතිකරුවා වුවද කුසල් පෙරේරා දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 180 ක් ලෙස දිස්විය. කුසල්ට අමතරව ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වූයේ අතිරේක ලකුණු 35 යි.

ප්‍රවේගකාරී තුන් ඉරියව් පිතිකරුවන් ලෙස තිසර පෙරේරා සහ ඉසුරු උදාන නම්දරා සිටියද ශ්‍රී ලංකා කණ්ඩායමට ඔවුන්ගේ දායකත්වය අවශ්‍යම මොහොතේදී ලබාදීමට අපොහොසත් වූහ. තිසර පෙරේරා ලකුණු 2 කට සහ ඉසුරු උදාන ලකුණු 10 කට පිටියෙන් ඉවත් කිරීමට ඇෆ්ඝනිස්තාන් පන්දු යවන්නෝ සමත්වූහ.

එක් අවස්ථාවකදී ලකුණු 144 කට කඩුල්ලක් පමණක් දැවී ඉතා ප්‍රබල ස්ථානයක සිටි ශ්‍රී ලංකාව තවත් සුළු මොහොතකදී ලකුණු 5 ක් තුළ කඩුලු 4 ක් අහිමිකර ගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 149 කට කඩුලු 5 ක් ලෙස දිස්විය.

හමීඞ් හසන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින්නා වෙත උඩපන්දුවක් ලබාදුන් ධනංජය ද සිල්වාට ලකුණු නොළබාම පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

22 වැනි ඕවරයේ 2 වැනි පන්දුවෙන් ළහිරු තිරිමාන්න පිටියෙන් ඉවත්කළ මොහොමඞ් නබී සිවුවැනි සහ අවසන් පන්දු වලදී කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් දවාගනිමින් ශ්‍රී ලංකාව දැඩි පීඩනයට ලක්කිරීමට සමත්විය. තිරිමාන්න ලකුණු 25 කට දැවීයාමෙන් පසුව මෙන්ඩිස් ලකුණු 2 කට සහ මැතිව්ස් ලකුණු නොළබාම පිටියෙන් ඉවත්ව ගියහ.

අද තරගයේදී එක්දින ලකුණු 3000 සීමාව පසුකළ ළහිරු තිරිමාන්න ශ්‍රී ලංකාව වෙනුවෙන් එම දස්කම කළ 16 වැනි පිතිකරුවා ලෙස වාර්තා පොත් අතරට එක්විය.

කුසල් පෙරේරා සමගින් එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 92 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ දිමුත් කරුණාරත්න ගැසූ පහරකින් ඉහළ නැගි පන්දුව නජිබුල්ලා සඩ්‍රාන් විසින් රැකගනු ලැබීමත් සමගින් ඔහුගේ ඉනිම ලකුණු 30 කට අවසන් විය. පන්දු 45 කට මුහුණදුන් කරුණාරත්නගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

2015 අප්‍රේල් මාසයෙන් පසුව පළමු ඕවර 10 තුලදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගැනීමට ශ්‍රී ලංකාව අද සමත්විය. ඇෆ්ඝනිස්තානයට එරෙහිව අද තරගයේදී කිසිවකු නොදැවී ලකුණු 79 ක් රැස්කළ ශ්‍රී ලංකාව 2017 වසරේදී බංග්ලාදේශයට එරෙහිව පළමු ඕවර 10 තුලදී ලකුණු 76 ක් රැස්කර තිබුණි. 2013 වසරේ සිට මේ දක්වා කාඩිෆ්හිදී තරග 5 ක් ක්‍රීඩාකර ඇති ශ්‍රී ලංකාව එම තරග 5 ම පරාජයට පත්වී ඇත.

කිසිදු වෙනස්කමක් සිදුනොකරමින් පළමු තරගට ක්‍රීඩාකළ ඇෆ්ඝනිස්තානු කණ්ඩායමම අද තරගයටද සහභාගීවන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් කරමින් පළමු තරගයට ක්‍රීඩාකළ ජීවන් මෙන්ඩිස් ඉවත් කර ඔහු වෙනුවට නුවන් ප්‍රදීප් කණ්ඩායමට කැඳවා ඇත.

කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානු නායක ගුල්බදින් නායිබ් පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.

 

...


අදහස් (0)

පන්දු යවන්නෝ ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.