Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව World Cup 2019 නරඹන්නන් අතරට ගිය ජය බෝල්ට් උදුරාගනී

නරඹන්නන් අතරට ගිය ජය බෝල්ට් උදුරාගනී

editorial - 2019 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලකුණු 164 ක් පමණක් පුවරුවට එක්වෙද්දී කොදෙව් පිලේ හත්වැනි කඩුල්ලත් ඇද වැටිණ. ජයග්‍රහණයක බලාපොරොත්තු සියල්ලම සේදී ගොස් තිබියදීත් නොසැලී නවසීලන්ත පන්දු යවන්නන්ට මුහුණ දුන් කාලෝස් බ්‍රැත්වෙයිට් ජයග්‍රහණය ආසන්නයටම කොදෙව් පිල කැඳවාගෙන ගිය නමුත් ට්‍රෙන්ට් බෝල්ට් රැකගත් උඩපන්දුවක් හේතුවෙන් මැන්චෙස්ටර්හිදී පැවැති ලෝක කුසලාන තරගයේදී කොදෙව්වෝ ලකුණු 5 කින් පරාජය වූහ.

කේන් විලියම්සන්ගේ විශිෂ්ටතම එක්දින ඉනිම (148) හේතුවෙන් කොදෙව්වන්ට ලකුණු 292 ක ඉලක්කයක් ලැබිණ. ඉලක්කය හඹා යද්දී කඩුලු 7 ක් ලකුණු 164 කට ඇද වැටුණු නමුත් කොදෙව් පිල වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ බ්‍රැත්වෙයිට් අවසන් පිතිකරුවන් තිදෙනාගේ සහයෝගය පමණක් ලබාගනිමින් ලකුණු සංඛ්‍යාව 286 දක්වා ඇදගෙන ගියේ පන්දු 82 කින් ලකුණු 101 ක් ලබාගනිමිනි.

ලකුණු 165 සිට 286 දක්වා කොදෙව් පිලට එක්වූ ලකුණු 121 න් පසුපෙළ පිතිකරුවන් ලබාගත්තේ දෙදෙනා වූ කෙමර් රෝච් (14) සහ ෂෙල්ඩන් කොට්රල් (15) ලබාගත්තේ ලකුණු 29 ක් පමණි.

කෙසේ වෙතත් 50 වැනි ඕවරය ඇරඹීමට පෙර, කොදෙව් ජයග්‍රහණයට අවශ්‍යව තිබුණේ පන්දු 7 කින් ලකුණු 6 කි. ජේම්ස් නීෂම්ගේ අවසන් ඕවරයේ අවසන් පන්දුව මිඞ් විකට් කලාපයට ඉහළින් යැවූ බ්‍රැත්වෙයිට් පන්දුව නරඹන්නන් අතර පතිත වන තෙක් බලා සිටියේය. එහෙත් හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි ටේ‍රන්ට් බෝල්ට් එය උඩපන්දුවක් බවට පෙරළාගැනීම නිසා කොදෙව් පිලේ අවසන් කඩුල්ල බිඳ වැටීමත් සමගම නවසීලන්තයට ජය අත්විය.

බ්‍රැත්වේට් අටවැනි කඩුල්ල සඳහා කෙමාර් රෝච් (14) සමගින් පන්දු 68 කදී ලකුණු 47 ක සම්බන්ධතාවයක්ද නවවැනි කඩුල්ල සඳහා ශෙල්ඩන් කෝට්‍රල් (15) සමගින් එක්ව පන්දු 41 කදී ලකුණු 34 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීය. ලකුණු 245 කට කඩුලු 9 ක් බිඳවැටී තිබුණද ඉන් පසුනොබැසූ බ්‍රැත්වේට් අවසන් කඩුල්ල සඳහා ඔෂේන් තෝමස් සමගින් එක්ව පන්දු 24 කදී ලකුණු 41 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය. එම පන්දු 24 තුලදී ඔෂේන් තෝමස් මුහුණදීමට හැකිවූයේ පන්දු 4 කට පමණක් වූ අතර ලකුණු ලබාගැනීමට අවස්ථාවක් හිමිනොවීය.

ක්‍රිස් ගේල් සහ ශිම්රන් හෙට්මයර් අර්ධ ශතක ලබාගනිමින් කොදෙව් පිලේ ජයගහණය අවශ්‍ය අඩිතාලම දමාදුන්නද මැදපෙළ පිතිකරුවන් 5 දෙනෙකු ලකුණු 22 ක් තුළ දැවීයාම ඔවුන්ගේ පරාජයට හේතුවිය.

ක්‍රිස් ගේල් පන්දු 84 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 87 ක් ලබාගත් අතර ශිම්රන් හෙට්මයර් පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 54 ක් රැස්කිරීමට සමත්විය.

ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 4 ක් සහ ලොකී ෆර්ගසන් කඩුලු 3 ක් දවාගනිමින් නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 291 ක් රැස්කිරීමට සමත්විය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඔවුන් මුහුණදුන් පළමු පන්දුවෙන් දැවීයාමත් සමගින් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ කේන් විලියම්සන් පන්දු 154 කදී හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමගින් ලකුණු 148 ක් රැස්කිරීමට සමත්විය. ඔහු මෙවර ලෝක කුසලාන තරගාවලියේදී පිට පිට ලබාගත් දෙවැනි ශතකයද වන්නේය.

රොස් ටේලර් සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 195 කදී ලකුණු 160 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් නවසීලන්ත ඉනිම ගොඩනැගීමට කේන් විලියම්සන් සමත්විය.

විලියම්සන්ට අනගි සහයක් ලබාදුන් රොස් ටේලර් පන්දු 95 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 69 ක් රැස්කිරීමට සමත්විය.

ශෙල්ඩන් කොට්ටේ්‍රල් කඩුලු 4 ක් සහ කාලෝස් බ්‍රැත්වේට් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


නවසීලන්තය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 291
(කේන් විලියම්සන් 148, රොස් ටේලර් 69, ජෙම්ස් නිෂාම් 28, ශෙල්ඩන් කෝට්‍රල් 56/4, කාලෝස් බ්‍රැත්වේට් 58/2)

බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 49 කදී සියලුදෙනා දැවී 286
(ක්‍රිස් ගේල් 87, ශිම්රන් හෙට්මයර් 54, කාලෝස් බ්‍රැත්වේට් 101, ට්‍රෙන්ට් බෝල්ට් 30/4, ලොකී ෆර්ගසන් 59/3)

...


අදහස් (0)

නරඹන්නන් අතරට ගිය ජය බෝල්ට් උදුරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.