Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව World Cup 2019 සිංහ නාදයෙන් තරගාවලියම කැළඹෙයි

සිංහ නාදයෙන් තරගාවලියම කැළඹෙයි

editorial - 2019 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වැසි සහිත කාලගුණයෙන් බාධා පැමිණෙමින් සහ ඉහළින් සිටින කණ්ඩායම් හතර ඔවුන්ගේ ආධිපත්‍යය පතුරුවමින් සිටි 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අනාවැකි පලකළ හැකි සහ ඒක පාර්ශ්වීය තරගාවලියක් බවට පත්වන ලකුණු පහළ වී තිබිණ. එවන් පසුබිමක යළි ප්‍රාණවත් වූ ශ්‍රී ලංකාව සිය සිංහ නාදය නඟමින් එංගලන්තයට එරෙහිව විස්මිත දස්කම් ප්‍රදර්ශනය කිරීමට සමත්වීමත් සමඟ සමස්ථ තරගාවලියම යළිත් වතාවක් විවෘත තරගාවලියක් බවට පත්ව තිබේ.

ඉකුත් සිකුරාදා හෙඩිංග්ලිහිදී පැවැති තරගයේදී ශ්‍රී  ලංකා පිල විසින් එංගලන්ත පිල පරාජය කරනු ඇතැයි කිසිවෙක් අපේක්ෂා නොකළේය. වසර හතරක කලක සිට ඉතා සුපරික්ෂාකාරී සැලසුම්වලින් අනූනව විශාල පළපුරුද්දක් හා පැහැදිළි අභිප්‍රායකින් ආශිර්වාද ලැබූ කණ්ඩායමක් වන සත්කාරක එංගලන්තය, ඉහළ දක්ෂතා සහිත, ජව සම්පන්න ක්‍රීඩකයින්ගෙන් සමන්විත, තරග ජයග්‍රහණය කිරීමට හැකි ක්‍රීඩකයින්ගෙන් ද පරිපූර්ණ කණ්ඩායමකි.

ශ්‍රී ලංකාව පැත්තෙන් බැලූ විට ක්‍රීඩකයන් තේරීමේ හා උපායමාර්ගවල සිට ප්‍රධාන ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා යෝග්‍යතාව දක්වා වූ ලෝක කුසලාන මෙහෙයුමේ සියලුම අංශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිල අසීරුතාවන්ට මුහුණ දී සිටියේය. මෙවන් වට පිටාවකදී අපගේ විශාලම බලාපොරොත්තුවේ පන්නරය බවට පත්ව තිබුණේ ලෝක කුසලාන තරගාවලියන්හිදී අවශ්‍ය වේලාවට නැගී සිටීමේ සාඩම්බරත්වය හා අමාරුවෙන් සකස් කරගත් සම්ප්‍රදායන් පමණි.

වාසනාවකට, ජීවයෙන් හා සටන්කාමිත්වයෙන් යුත් කුසලතාවන්ගෙන් ඒ කීර්තිය නැවත වතාවක් සාධාරණීකරණය කරන්නට කණ්ඩායමේ ක්‍රීඩකයින් සමත්වී සිටින අතර එමගින් ශ්‍රී ලංකාවේ ලෝක කුසලානය ගැන තිබෙන උනන්දුව යළි ඉස්මතු කරමින් ක්‍රීඩා ලෝලීන් තුළ වූ විශ්වාසය යළිත් තහවුරු වී තිබේ.

ක්‍රීඩා කිරීම සඳහා යොදා ගැනුණු තණතීරුව වියළි එකක් බැවින් තරගයේ දෙවැනි භාගය වන විට පන්දුව දඟ කැවීමට බොහෝ දුරට ඉඩ තිබුණු බව අනුමාන කෙරිණ. එබැවින් කාසියේ වාසිය දිනා ගැනීම වාසියක් වනු ඇතැයි මම සිතුවෙමි. එහෙත් ජයග්‍රහණය සඳහා සාමාන්‍යයෙන් අවශ්‍යව තිබූ එකතුවේ සාමාන්‍යය අගය තිබුණේ ලකුණු 280කට ආසන්න මට්ටමේ මිස අවසානයේ ශ්‍රී ලංකාව රැස්කර ගැනීමට සමත්වූ ලකුණු 232 නොවේ.

ජොෆ්රා ආචර්ට එරෙහිව විශ්වාසයකින් තොරව පාද හසුරුවීමට යෑම අසාර්ථක වීම නිසා දිමුත් (කරුණාරත්න) කඩුල්ල පිටුපසට උඩ පන්දුවක් දුන්නේය. වයිඞ් පන්දුවක් ලෙසින් ඇදී ගිය පන්දුව හඹා යමින් පහර ගැසීමට යාමෙන් තර්ඞ් මෑන් කලාපය වෙත උඩ පන්දුවක් දී කුසල් පෙරේරා දැවී යාමත් සමග ශ්‍රී ලංකාව සුපුරුදු පරිදි ආරම්භයේම අනතුරක වැටුණේය.

කෙසේ වෙතත්, මේ තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු අති විශිෂ්ට පිති හරඹයක නියැළෙමින් දීප්තිමත් ප්‍රතිචාරයක් දැක්වීය. ඉහළම පංතියේ පිතිකරුවෙකු නිර්වචනය කිරීම සඳහා යොදා ගැනෙන කුසලතා සියල්ලෙන්ම පරිපූර්ණව සිටින ක්‍රීඩකයෙකු ඔහුගෙන් දිස්විය.

හිස ස්ථාවරව තබා ගැනීම, පා සංචලනය, පිට ඉන්න ප්‍රදේශයට මෙන්ම කෙළින්ම පන්දුවට පහර දෙන අවස්ථාවන්හි ශරීරය සමබරව තබා ගැනීමේ හැකියාව හා ඉතා ඉක්මනින් කෙටි පන්දු තෝරා ගැනීමට ඇති හැකියාවන් ඔහුගෙන් ප්‍රදර්ශනය විය.  පන්දුවට පහර දීමට සූදානම්වීමේදී අවම කාලයක් තුළ පන්දුව වෙත යෑම හේතුවෙන් අවිශ්කට පන්දුව සමඟ ක්‍රීඩා කිරීමට බොහෝ වේලාවක් ඉතිරිව තිබේ.
නැවත වතාවක් අපේ මැද පිතිකරු පෙල පරීක්ෂාවට ලක්විණි.

කුසල් මෙන්ඩිස් හොඳින් ක්‍රීඩා කරන බවක් දිස්වූවද දීර්ඝ ඉනිමක් ගොඩනැගීමට ඔහුට නොහැකි විය. තණතිල්ල ක්‍රම ක්‍රමයෙන් පිතිහරඹය සඳහා අසීරු වේගන යද්දී ඇන්ජලෝ මැතිව්ස් තරගයට සුදුසු සේ සකස් වෙමින් හා සෙසු පිතිකරුවන් එකට තබා ගනිමින්, කණ්ඩායමේ සිටින හොඳම පිතිකරුවා තමන් බව යළිත් සාක්ෂි සහිතවම ප්‍රදර්ශනය කර සිටියේය. එය ඇන්ජලෝගෙන් දිස්වූ විශිෂ්ට ඉනිමක් වූ අතර ජයග්‍රාහී මුළු ලකුණු සංඛ්‍යාවේ නිර්මාණ ශිල්පියාද ඔහුම විය.

ලකුණු 233 ක ඉලක්කය ආරක්ෂා කර ගැනීමට නම් පන්දු යැවීමේදී, ලසිත් මාලිංග මූලිකත්වය ගැනීම අවශ්‍යව තිබිණි. ඔහු ලෝක කුසලාන තරගාවලියේදී මේ දක්වා හොඳ සකසුරුවමකින් යුතුව ආරක්ෂාකාරීව පන්දු යවමින් සිටිනවා සේම, නව පන්දුවෙන් හා පන්දු යැවීමට පැමිණෙන සෑම වාරයකදීම ඔහු කඩුලු ලබා ගත යුතුය. මේ තරගයේදී ඔහු ඒ දෙය හරියටම කළේය.

නිර්භීත හදවතක් සමගින් දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට ගෙවීගිය වසර කීපයේදී සමත්වූවා සේම මෙම තරගයේදීත් පිතිකරුවන් කෙරෙන් වැරදි නිර්මාණය කරගැනීම වෙනුවෙන් ඔහු පන්දුවේ දෝලනය සහ නියමිත ස්ථානවලට පන්දුව පතිත කරමින් තම දක්ෂතා ප්‍රදර්ශනය කළේය.

ලසිත් හා දිමුත් එක්ව කළ සැලසුමක ප්‍රතිඵලයක් ලෙසින් ජොස් බට්ලර්ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීම සඳහා එළන ලද දැල සඳහන් කළ හැක. එහිදී පිතිකරුවා පන්දුවට පහර දෙන කෙළින් හා ‘ඔන්‘ කළාපය අසළින්ම පන්දු රකින්නකු රැඳවූ මාලිංග සහ දිමුත්,  පන්දුවට හරවා පහර ගැසීමට බට්ලර්ට බල කළහ.

ජෝ රූට් හොඳින් පිතිහරඹයේ යෙදුණද, ඔහු වෙත පීඩනය එල්ල වූයේ විශ්වාසනීයත්වයක් ගොඩ නඟා ගැනීමට නොහැකිව ඔයින් මෝගන් බොහෝ සෙමින් පන්දුවට පහර දීම නිසාවෙනි. මෝගන්ගෙන් ඉක්මනින් ලකුණු 40 ක් ආවේ නම් තරගය මීට කළින් කෙළවර වීමට ඉඩ තිබිණි. මොයින් අලීගෙන් එල්ල වුනු සාමාන්‍ය පහරකින් ක්‍රීඩාවේ තීරණාත්මක අවස්ථාවකදී එංලන්තයට පිහිටක් නොලැබිණි. අවසානයේ බෙන් ස්ටෝක්ස් ට සහායක ක්‍රීඩකයන් නැතිව ගියේය.

එය ලසිත් මාලිංගගේ මෙහෙයවීමෙන් යුතු විශිෂ්ට කණ්ඩායම් උත්සාහයක් විය. සෑම ක්‍රීඩකයෙකුම ඊට සහාය වූහ. ඔවුන් බොහෝ දස්කම් ප්‍රදර්ශනය කරමින් අභියෝගයට එරෙහිව නැගී සිටියහ.

ශ්‍රී ලංකාවට මේ ජයග්‍රහණයෙන් ප්‍රීති විය හැකි වූවද ඔවුන් විසින් තවත් කළ යුතු බොහෝ දේ ඇත. ලීඞ්ස්හිදී අයුරින් පන්දු යවන්නන්ට ආරක්ෂා කර ගැනීමට හැකි වන තරමේ සටනක් දිය හැකි මුළු ලකුණු සංඛ්‍යාවක් ලබා ගනු පිණිස නිරතුරුවම ලකුණු ලබා ගනිමින් මීළඟ තරගවලදී පිතිහරඹ අංශය දියුණු කර ගත යුතුව තිබේ.

ශ්‍රී ලංකාව ලද එම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය මඳක් විවෘතව පවතින අතර බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව මූලික වටය යටතේ ඔවුන්ට ඉතිරිව තිබෙන අවසන් තරග 3 ජය ගැනීමට සමත්වුවහොත් අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාවක් මේ වන විට නිර්මාණය වී තිබේ.


අදහස් (0)

සිංහ නාදයෙන් තරගාවලියම කැළඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.