Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව World Cup 2019 වෝනර් ප්‍රමුඛ පිතිකරුවෝ ඕස්ට්‍රේලියාව දිනවති

වෝනර් ප්‍රමුඛ පිතිකරුවෝ ඕස්ට්‍රේලියාව දිනවති

editorial - 2019 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඬේවිඞ් වෝනර් (166) ප්‍රමුඛ පිතිකරුවන්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ නොටින්හැම්හිදී අද (20 වැනිදා) පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගයේදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 48 ක ජයක් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය. ඒ අනුව අද තරගයේදී හිමිවූ ප්‍රසාද ලකුණු 2 ත් සමගින් ප්‍රසාද ලකුණු 10 ක් හිමිකරගත් ඕස්ට්‍රේලියාව නැවතත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 382 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 333 ක් පමණි. තරගය පරාජයට පත්වුවද එක්දින තරගයකදී බංග්ලාදේශය රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට ඔවුන් සමත්වූහ.

මුෂ්ෆිකූර් රහීම් (නොදැවී 102) ශතකයක් ද ටමීම් ඉක්බාල් (62) සහ මහමුදුල්ලා (69) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔවුන් අපොහොසත් වූහ.

පන්දු 95 කදී සිය 7 වැනි එක්දින ශතකය සම්පූර්ණ කළ මුෂ්ෆිකූර් රහීම් ඉනිම නිමාවන විට ලකුණු 102 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය. පන්දු 97 කට මුහුණදුන් මුෂ්ෆිකූර් රහීම්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් විය.

ටමීම් ඉක්බාල් සහ සකීබ් අල් හසන් එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 84 කදී ලකුණු 79 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඉලක්කය හඹායෑමට අවශ්‍ය අඩිතාලම දමා දුන්හ. එය තවදුරටත් ඉදිරියට ගෙනගිය මුෂ්ෆිකූර් රහීම් සහ මහමුදුල්ලා එක්ව 5 වැනි කඩුල්ල සඳහා පන්දු 91 කදී ලකුණු 127 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් බංග්ලාදේශ කණ්ඩායම ඉලක්කය ආසන්නයට රැගෙන යාමට සමත්වූහ.

ටමීම් ඉක්බාල් පන්දු 74 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 62 ක් රැස්කළ අතර මහමුදුල්ලා පන්දු 50 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 69 ක් රැස්කිරීමට සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 381 ක් රැස්කිරීමට සමත්විය.

මෙවර ලෝක කුසාලන තරගාවලියේ දෙවැනි ශතකය පන්දු 110 කදී ලබාගත් ඬේවිඞ් වෝනර් සිය 16 වැනි එක්දින ශතකයට හිමිකම් කීමට අද සමත්විය. ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව තවත් ඉහළ දැමීමට උත්සහ කිරීමේදී සෞම්‍ය සර්කාර් විසින් හිසට ඉහළින් යැවූ පන්දුවකට පහරක් ගැසීමට යාමේදී ශොර්ට් තර්ඞ්මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි රුබෙල් හුසේන්ට උඩපන්දුවක් දෙමින් වෝනර් ලකුණු 166 කට දැවී ගියේය. පන්දු 147 කට මුහුණදුන් වෝනර්ගේ ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 14 කින් අලංකාර විය.

ඒරන් ෆින්ච් සමගින් එක්ව සාර්ථක ආරම්භයක් ලබාගත් ඬේවිඞ් වෝනර් පළමු කඩුල්ල සඳහා පන්දු 125 කදී ලකුණු 121 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර ඉන් නොනැවති උස්මාන් කවාජා සමගින් එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 141 කදී ලකුණු 192 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය.

ඒරන් ෆින්ච් පන්දු 51 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 53 ක් රැස්කළ අතර ශතකය පෙනි පෙනී සෞම්‍ය සර්කාර්ගේ තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 89 ක් රැස්කර සිටි උස්මාන් කවාජා දැවී ගියේය. පන්දු 72 කට මුහුණදුන් කවාජාගේ ඉනිමට හතරේ පහර 10 ක් ඇතුළත් විය.

ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරතවූ ග්ලෙන් මැක්ස්වෙල් අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුවීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවට ලකුණු 400 සීමාව පසුකර යෑමට තිබූ අවස්ථාව අහිමිවී ගියේය. පන්දු 10 කට පමණක් මුහුණදුන් මැක්ස්වෙල් හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 32 ක් රැස්කිරීමට සමත්විය.

ඕවර 39 ක් අවසානයේ ලකුණු 237 ක් රැස්කරගෙන සිටි ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ අවසන් ඕවර 11 තුළදී ලකුණු 144 ක් රැස්කිරීමට සමත්වූහ.

49 ඕවරය අවසානයේ වර්ෂාව ඇතිවුවද මිනිත්තු 25 කින් පමණ තරගය නැවත ආරම්භවූ අතර තරගයේ ඕවර අඩුවීමක් සිදුනොවීය.

 

ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 381

(ඒරන් ෆින්ච් 53, ඬේවිඞ් වෝනර් 166, උස්මාන් කවාජා 89, ග්ලෙන් මැක්ස්වෙල් 32, සෞම්‍ය සර්කාර් 58/3)

බංග්ලාදේශය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 333

(ටමීම් ඉක්බාල් 62, සකීබ් අල් හසන් 41, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 102, ලිටන් දාස් 20, මහමුදුල්ලා 69, මාකස් ස්ටොයිනිස් 54/2, මිචෙල් ස්ටාර්ක් 55/2, නේතන් කූල්ටර්නයිල් 58/2)


අදහස් (0)

වෝනර් ප්‍රමුඛ පිතිකරුවෝ ඕස්ට්‍රේලියාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.