Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව World Cup 2019 එංගලන්තය අවසන් පූර්ව වටයට

එංගලන්තය අවසන් පූර්ව වටයට

editorial - 2019 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජොනී බෙයාර්ස්ටෝ පිට පිටම ලබාගත් දෙවැනි ලෝක කුසලාන ශතකය නිසා නවසීලන්තයට එරෙහිව අද (3 වැනිදා) චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී පැවැති තරගයේදී ලකුණු 119 ක පහසු ජයක් ලබාගත් එංගලන්ත ක්‍රීඩකයෝ ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරගත්හ. අද තරගය එංගලන්ත කණ්ඩායම විසින් ජයගනු ලැබීමත් සමගම අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් හතර නිශ්චිත වීමෙන් පාකිස්තානයේ දොරටුව අඩකින් වැසී ගියේය.

එංගලන්තය හමුවේ ලකුණු 306 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමේ ගමන ලකුණු 186 දී නිමා වුවද ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානය ඔව්හු රැකගත්හ. නවසීලන්තය වෙනුවෙන් කඩුලු රකින පිතිකරු ටොම් ලෙතම් හුදෙකළා සටනක නිරත වූවද ඉදිරිපෙළ සහ මැදපෙළ පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් නවසීලන්තයට ජයග්‍රහණය අහිමි විය.

දැනට පවතින තත්ත්වය අනුව පාකිස්තානු පිල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නම් ලබන සිකුරාදා (5 වැනිදා) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයේදී විශාල ලකුණු පරතරයකින් පාකිස්තානු පිල ජයගත යුතුව තිබේ. එහෙත් වත්මන් බංග්ලාදේශ කණ්ඩායම අනුව එය එතරම් පහසු අභියෝගයක් නොවන්නේ පාකිස්තානයේ දඩයම් ඉලක්කය වන නවසීලන්තය සතුව දැනටමත් 0.175 ක ධන ශුද්ධ ලකුණු වේගයක් පවතින බැවිනි. එහෙත් පාකිස්තානය සතුවදැනට පවතින  ශූද්ධ ලකුණු වේගය සෘණ 0.792 කි.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන විට කාගේත් තේරීම බවට පත්ව සිටි එංගලන්ත කණ්ඩායම ඉතාමත් අනපේක්‍ෂිත ආකාරයෙන් ශ්‍රී ලංකාව හමුවේ පරාජය වීම නිසා අවසන් පූර්ව වටයේ ස්ථානය අහිමි කරගැනීමේ අවදානමට මුහුණ දුන්නේය. එහෙත් ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ දස්කම් හේතුවෙන් හොඳ තරගයක් දීමේ ලකුණු සංඛ්‍යාවක් පුවරුවට දමාගත් එංගලන්ත ක්‍රීඩකයෝ කල්වේලා ඇතිවම පාකිස්තානුවන්ගේ ලේ රත් කරන්නට පටන් ගත්හ.

ඉන්දියාව හමුවේ ලබාගත් ශතකයෙන් ඔද වැඩී සිටින ජොනී බෙයාර්ස්ටෝ නවසීලන්ත පන්දු යවන්නන් හමුවේත් අනුකම්පා විරහිත පිතිහරඹයක් කරමින් පන්දු 95 කදී ශතකය ලබාගත්තේය. හතරේ පහර 14 ක් සහ හයේ පහරකින් සමන්විත වූ බෙයාර්ස්ටා් ලබාගත්තේ තමාගේ 9 වැනි එක්දින ශතකය වන අතර නවසීලන්ත පිල හමුවේ පිට පිටම ලබාගත් තුන්වැනි ශතකයද වෙයි.

ජෝ රූට් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනංවාගෙන යද්දී එංගලන්ත ලකුණු පුවරුවට 193 වැන්න එක්වූයේ ඕවර 20 ක් පමණ ඉතිරිව තිබියදීය. එහෙත් ටේ‍රන්ට් බෝල්ට් විසින් ජෝ රූට් සහ ජොස් බට්ලර් දෙදෙනාම දවාගැනීම හේතුවෙන් ඕවර 5 ක් යාමටත් මත්තෙන් ලකුණු 20 ක් ඇතුළත කඩුලු 3 ක් බිඳ වැටිණ.

ජේසන් රෝයි සහ බෙයාර්ස්ටෝ දෙදෙනාගෙන් එංගලන්තයට ලැබුණේ විශිෂ්ට ආරම්භයකි. පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 123 ක් එක් කළ මෙම පිතිකරුවන් දෙදෙනා ලෝක කුෂලාන තරගාවලියේදී එංගලන්තයට පිට පිටම තිළිණ කළ තුන්වැනි ශතක සම්බන්ධතාව එය විය. කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීම තෝරාගත් එංගලන්ත නායකයාට මීට වඩා යමක් අපේක්‍ෂා කළ නොහැකිය.

මෙම තරගාවලියේදී එංගලන්තය පරාජය වූ තරග තුනේදීම පන්දුවට පහර දීමට සිදුවූයේ දෙවැනි වරටය. ඒබ ව හොඳින්ම වටහාගෙන සිටි නායක මෝගන් කාසියේ වාසිය දිනාගත් සැණින් කිසිදු පැකිළීමකින් තොරවම පන්දුවට පහර දීම තෝරා ගත්තේය.  


එංගලන්තය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 305
(ජේසන් රෝයි 60, ජොනී බෙයාර්ස්ටෝ 106, ජෝ රූට් 24, ජොස් බට්ලර් 11, ඔයින් මෝගන් 42, බෙන් ස්ටෝක්ස් 11, ලයාම් ප්ලන්කට් 15, අදිල් රෂීඞ් 16, ටේ‍රන්ට් බෝල්ට් 56/2, මැතිව් හෙන්රි 54/2, ජේම්ස් නීෂම් 41/2)

නවසීලන්තය - ඕවර 45 කදී සියලු දෙනා දැවී 186
(කේන් විලියම්සන් 27, රොස් ටේලර් 28, ටොම් ලේතම් 57, ජේම්ස් නීෂම් 19, මිචෙල් සෑන්ට්නර් 12, මාක් වුඞ් 34/3)

 

..


අදහස් (0)

එංගලන්තය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.