Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව World Cup 2019 අපට කොතනදී හරි වැරදුනා

අපට කොතනදී හරි වැරදුනා

editorial - 2019 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(යොහාන් භාසුර, ලීඞ්ස් හෙඩින්ලි ක්‍රීඩාංගණයේ සිට...)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කිසියම් තැනක වූ වැරැද්දක් වර්තමාන ක්‍රිකට් කඩා වැටීමට හේතු වී ඇති බව ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න ලිඞ්ස්හි හෙඩින්ලි ක්‍රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව සෙනසුරාදා (06 වැනිදා) පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන් පසුව පැවසීය.

 එම මාධ්‍ය හමුවේදී දිමුත් වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

“අපිට කිසියම් හෝ තැනක වැරැද්දක් වෙලා තියෙනවා. ඒකයි අපි මේ තත්ත්වේ ඉන්නේ. ක්‍රීඩකයන් හැටියට අනෙක් කණ්ඩායම් සමඟ සැසදීමේදී අපිට අත්දැකීම් අඩු ක්‍රීඩකයන් ඉන්නේ. අපිට අත්දැකීම් ඕනෙ. විදේශ තරගාවලිවලට සහභාගි වෙලා අත්දැකීම් අරගෙන එන්න ඕනේ”

“සංගා, මහේල ක්‍රීඩා කරන විට අපිට හොඳ කාලයක් තිබුණා. හැමෝටම හොඳ කාල එනවා, නරක කාල එනවා ඒවගේ දේවල්වලට අපි හුරු වෙන්න ඕනේ. හැමදාම ජය ගන්නත් බෑ”

“ඉසුරු උදාන කොහෙද හිටියෙ කියලවත් දන්නේ නෑ. ඔහු වෙනත් රටවල්වල ලීග් තරගාවලිවලට ක්‍රීඩා කරලා දකුණු අප්‍රිකානු තරගාවලියේ හොඳට ක්‍රීඩා කරලා. මේ ලෝක කුසලානයටත් ක්‍රීඩා කළා. දේශීය තරගාවලියෙන් පමණක් කොහොමද ක්‍රීඩකයන් බලන්නෙ කියන එක තමයි ප්‍රශ්නය. ක්‍රීඩා කරන්න කරන්න තමයි අත්දැකීම් වැඩි වෙන්නේ”

“ජනතාව අපි ගැන විශ්වාස තිබ්බේ නෑ කියන්නෙම නෑ. අපිට ජනතාවගේ විශ්වාසය මීට වඩා ඕනේ. අපි වැටිලා ඉන්න විට අත දෙන පිරිස තමයි වැඳගත් වෙන්නේ. ඉන්දීය පිල හොඳ ක්‍රීඩා කරනවා කියලා හැමෝම දන්නවා. නමුත් ඔවුන් හොඳට ක්‍රීඩා කරන්නෙ නැති කාලෙ මේ ජනතාවගෙන් බාගයක් දාලා ගියොත් මොකද වෙන්නේ”

“අපිට ජනතාවගේ සහයෝගය අවශ්‍යයි. අපිටත් දියුණු වෙලා කවදා හරි දවසක හොඳ තැනකට එන්න පු`ඵවන්. ඒ සඳහා කාලයක් ගත වෙයි. මම හිතනවා අපිට ඉක්මනටම එතනට එන්න පුඵවන් කියලා”

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ හැසිරීම පිළිබඳව දිමුත් මෙසේ අදහස් දැක්වීය.

“අපි ලංකාවෙන් එන අවස්ථාව වන විට කවුරුත් හිතුවෙ නෑ අපේ කණ්ඩායම හොඳට ක්‍රීඩා කරයි කියලා. ඇෆ්ගනිස්ථානයට එරෙහිව තරගයවත් ජය ලබයි කියලා හිතුවේ නෑ. එහෙම තත්ත්වයක් තිබුණේ. අපි හයවැනි ස්ථානයේ තරගාවලිය අවසන් කරයි කියලත් කවුරුත් හිතුවේ නෑ”

“සමහර තරගවල අපි හොඳට ක්‍රීඩා කළා. සමහර තරගවල හොඳට ක්‍රීඩා කළේ නෑ. හොඳට ක්‍රීඩා කළ තරග ජය ගත්තා. කණ්ඩායමක් හැටියට අපිට එක දිනයේ හැම දේම හරියට කරන්න බැරි වුණා. සමහර දවස්වල පන්දු යවන්නො හොඳට ක්‍රීඩා කළා. සමහර දවස්වල පිතිකරුවො හොඳ වුණා. එහෙම වෙලත් අපි මෙතන ඉන්නවා”

“ලෝක එක්දින පිටියේ අපිට වඩා හොඳට ක්‍රීඩා කළ රටවල් අපිට වඩා පහළ ඉන්නවා. තරග දෙකක් වැස්ස නිසා නැති වුණා. ඒ තරග පැවැත්වුණා නම් ඇතැම් විට අපිට ජය ගන්න අවස්ථාවක් තිබුණා. ඒ කණ්ඩායම්වලට වඩා හොඳ කණ්ඩායම්වලට එරෙහිව අපි දස්කම් දැක්වුවා”

“පෞද්ගලිකව ඇත්තටම සතුටුයි. මුලම තරග හැරෙන්න ඊට පසුව අපි හොඳට ක්‍රීඩා කළා. ගොඩක් හොඳ දේවල් තියෙනවා. මම නායකයා වුණේ මාස දෙකකට පෙර නමුත් මට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ වගේම කනිෂ්ඨ ක්‍රීඩකයොත් ගොඩක් උදව් කළා”

“අවසන් පූර්ව වටයට එන්න බැරි වුණත් තරගාවලියේ අවසානය වෙද්දී අපි හොඳට ක්‍රීඩා කළා කියලා හිතනවා”

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ සාර්ථකම පිතිකරු වන ඇන්ජලෝ මැතිව්ස් පිළිබඳව දිමුත් මෙසේ පැවසීය.

“කවුරු කොහොම කිව්වත් තරගාවලිය ආරම්භ වන විට මම කිව්වා ඇන්ජලෝ ලකුණු අතරට එනවා කියලා. ඔහු දන්නවා නැගිටින්න ඕන කොහොමද කියලා. ඔහුට අත්දැකීම් තියෙනවා. ඔහු අදත් පෙන්නුවා පීඩනය යටතේ ලකුණු රැස්කරන්නෙ කොහොමද කියලා. ඒක තමයි අපිට ඕනේ. තරුණ ක්‍රීඩකයොත් ඒ වගේම වැඳගත්. ඇන්ජලෝ තව ටික දවසකින් පන්දු යැවීමත් ආරම්භ කරයි. මාලිංග සමුගත්තට පසුව ඇන්ජලෝ තමයි ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා” යැයි දිමුත් වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පිල අද (7 වැනිදා) පස්වරුවේ එංගලන්තයෙන් පිටත්ව ඒමට නියමිතව තිබුණි.

 


අදහස් (2)

අපට කොතනදී හරි වැරදුනා
  • Sisira Sunday, 07 July 2019 01:25 PM

    හැමෝටම වැරදිලා තියෙන එකයි ගැටළුව . තේරීම් කමිටුව තමයි ලොකුම වැරැද්ද කරේ .

    Reply 0       0

    de silva Monday, 08 July 2019 01:12 PM

    නුවන් කුලසේකර අසේල ගුණරත්න නැවත කණ්ඩායමට ගත්තොත් හොඳ නැද්ද ?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.