Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව World Cup 2019 වැඩි පීඩනය එංගලන්තයට

වැඩි පීඩනය එංගලන්තයට

editorial - 2019 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : දමින්ද විජේසූරිය)

ලෝක ක්‍රිකට් වංශකතාවේ රන් අකුරින් ලියැවෙන බිම්කඩක් වන ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී නැවත වතාවක් ඉතිහාසය නිර්මාණය වීමේ පසුබිම සකස් වෙමින් තිබේ. එංගලන්තය, නැතහොත් නවසීලන්තය විසින් මෙම නවතම ඉතිහාස කතාව නිර්මාණය කරනු ඇත.

ක්‍රිකට් ක්‍රීඩාවේ නිර්මාතෘවරුන් වූවද වසර 44 ක් තිස්සේ දිනාගත නොහැකි වුණු ලෝක කුසලාන දිනාගැනීමේ අවස්ථාව එංගලන්තයේ අත පොවන මායිමේ තිබේ. ඔයින් මෝගන්ගේ එංගලන්ත කණ්ඩායම හා සාපේක්‍ෂව බලද්දී ක්‍රිකට් ක්‍රීඩාවට ඇති නෑදෑකම් අල්ප වූවත් කේන් විලියම්සන්ගේ නවසීලන්ත කණ්ඩායමද ඉතිහාසය නිර්මාණය කිරීමේ අවස්ථාව ලැබෙන තුරු බලා සිටී.

1996 දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ලෝක කුසලාන දිනා ගැනීමෙන් පසුව පැවැති තරගාවලි පහේදීම (1999, 2003, 2007, 2011 සහ 2015) ක්‍රිකට් ලෝකයේ මහ බලවතුන් දෙදෙනකු වන ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව විසින් ලෝක කුසලානය බෙදා ගත්හ. එහෙත් මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ඉන්දියාව මෙන්ම ඕස්ට්‍රේලියාවද පරාජය පිළිගත්තේ මහත් අකමැත්තෙනි.

කෙසේ වෙතත් ඉරිදා නාටකයේ ප්‍රධාන නළුවන් දෙදෙනාගෙන් එංගලන්තයට ඇත්තේ තරමක් වැඩි පීඩනයකි. මේ වන විට ලෝකයේ අංක 1 එක්දින කණ්ඩායම වීම පමණක් නොව, තමන්ගේම ප්‍රේක්‍ෂකයන් ඉදිරියේ තරග කරන බැවින්ද එංගලන්තය පීඩනයට නතුවී සිටින කණ්ඩායම වී තිබේ. අනෙක් අතට එංගලන්ත ලෝක කුෂලාන තරගාවලියක අවසන් මහ තරගයට ක්‍රීඩා කරන්නේ සිව්වැනි වතාවටය.

කෙසේ වෙතත් මෙම රටවල් දෙකේම ක්‍රිකට් ලෝලීන් ආසියාතිකයන්ට වඩා වෙනස් ආකල්ප දරන්නන් වන බැවින් ක්‍රීඩකයන් වශයෙන් ඔවුනට තිබෙන පීඩනය ඉතා සාමාන්‍යය මට්ටමේ පවතී.

වසර 4 කට ඉහතදී බංග්ලාදේශය හමුවේ පරාජය වීම හේතුවෙන් එංගලන්තයට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. එහෙත් අළු බඳුන කෙරේම අවධානය යොමු කරනවා වෙනුවට සීමිත ඕවර තරග කෙරෙහිත් වැඩි අවධානයක් යොමුකළ එංගලන්ත ක්‍රිකට් බලධාරීහු එංගලන්ත කණ්ඩායමේ සැකැස්ම සහමුලින්ම වෙනස් කළහ. එහි අනුයාත ප්‍රතිඵලය වූයේ 2019 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන විට එංගලන්තය ලෝකයේ අංක 1 එක්දින කණ්ඩායම බවට පරිවර්තනය වී සිටීමයි.

කණ්ඩායමේ මැද පෙළ තුන් ඉරියව් ක්‍රීඩකයන්ගෙන් පුරවා දැමූ එංගලන්ත තේරීම් කමිටු නිලධාරීහු ඉදිරිපෙළ පිතිකරුවන්ට නොබියව ලකුණු හඹා යාමේ නිදහස දුන්හ. තමන්ට ලැබුණු නිදහසින් ඉහළම ප්‍රතිලාභ ලබාගත් එංගලන්ත පිතිකරුවෝ පළමුව පන්දුවට පහර දෙන අවස්ථා වලදී දිගින් දිගටම ලකුණු 300 සීමාව පසුකර ගියහ.

“ඒක අවුරුදු හතරක් තිස්සේ අනුගමනය කරන ලද ක්‍රමවේදයක්”
“2015 දී අපි හිටියේ අපේක්‍ෂිත ඉලක්කයෙන් බොහෝ දුර ඈත. හොඳ කණ්ඩායම් එක්ක විතරක් නෙමේ, ඊට පහළින් හිටපු අය එක්තත් තරග කරන්න ගිහින් අපි අමාරුවේ වැටුණා.....ඒ නිසා ඕවර 50 තරග වලදී අප ක්‍රීඩා කළ ආකාරයේ ප්‍රබල වෙනස්කම් කරන්න අපට සිද්ධ වුණා” යයි අවසන් පූර්ව තරගයේදී ඕස්ටේ්‍රලියානු පිල පරාජය කිරීමෙන් පසුව මෝගන් පැවසීය.

වත්මන් එංගලන්ත කණ්ඩායම සතුව සිටින්නේ නිර්භය පිතිකරුවෝ රැසකි. ජේසන් රෝයිගෙන් සහ ජොනී බෙයාර්ස්ටෝ දෙදෙනාගෙන් ආරම්භ වන පිතිකරු ලයිස්තුවේ ජෝ රූට්, ඔයින් මෝගන්, ජොස් බට්ලර් මෙන්ම බෙන් ස්ටෝක්ස් වැනි තරගයක් තනි අතින් ගෙන කණපිට පෙරළිය හැකි පිතිකරුවෝ සිටිති. ජේසන් රෝයි සහ ජොනී බෙයාර්ස්ටෝ දෙදෙනා අවසන් පූර්ව තරගයේදී ගොඩනැංවූ ලකුණු 124 ක පළමු කඩුල්ලේ සම්බන්ධතාව මෙම තරගාවලියේදී ඔවුන් දෙදෙනා විසින් ගොඩනංවන ලද සිව්වැනි ශතක සම්බන්ධතාවද වෙයි.

බාර්බඩෝස්හිදී උපත ලද ජොෆ්රා ආචර්, ක්‍රිස් වෝක්ස්, බෙන් ස්ටෝක්ස්, ලයාම් ප්ලන්කට් මෙන්ම මාක් වුඞ් සහ ටොම් කරන් වැනි වේග පන්දු යවන්නන් අතර ආචර්, වෝක්ස්, ස්ටෝක්ස් මෙන්ම ටොම් කරන් ද විශ්වාසය තැබිය හැකි පිතිකරුවෝද වෙති. එංගලන්තයේ ශක්තිය වන්නේ මෙම තුන්ඉරියව් ක්‍රීඩකයන්ය.

එංගලන්ත පිලේ මෙන් පත්තර සිරස්තල සරසනා ක්‍රීඩකයන් ගණනාවක්ම නවසීලන්තය සතුව නැතත් සිටින කිහිපදෙනා එකට එකතුකර ගනිමින් සාර්ථක ගමනක් යාමට කේන් විලියම්ස් සමත්ව සිටී. 2007 සහ 2011 ලෝක කුසලාන තරගාවලි දෙකේදීම අවසන් පුර්ව වටයට පිවිසි නවසීලන්තය 2015 මෙන්ම 2019 දීත් අවසන් මහ තරගයට පිවිස සිටී.

මැතිව් හෙන්රි, ට්‍රෙන්ට් බෝල්ට් සහ ලොකී ෆර්ගසන් යන වේග පන්දු තුන්කට්ටුවට වමතින් පා දඟ පන්දු යවන මිචෙල් සෑන්ට්නර්ගෙන් ලැබෙන්නේ කදිම සහයෝගයකි. ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී සෑන්ට්නර් විසින් යවන ලද පන්දු 60 න් 40 ක් ම නිලකුණු පන්දු විය. නවසීලන්තයේ පන්දු රැකීම කිසිවකුට නොදෙවනිය.

“මව්බිමේ ඉඳන් අප දිහා බලාගෙන සිටින සියලු දෙනාම මේ වෙනකොට විශාල උද්යෝගයකින් සිටින බව රහසක් නෙමේ. ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට ක්‍රීඩා කරනවා කියන්නේ විශාල අවස්ථාවක්....”

“අපි ඉරිදා තරගයේදී අපට කළ හැකි හොඳම දේ කරන්න සූදානම්” යයි කේන් විලියම්සන් කීවේ මහත් විශ්වාසයෙනි.

අවසන් මහ තරගය ආරම්භ වන්නේ නවසීලන්තයේ වේලාවෙන් රාත්‍රී 9.30 ට වූවත් තරගය සම්පූර්ණයෙන්ම නොමිලයේ විකාශය කිරීමට නවසීලන්ත රූපවාහිනී සේවයද පියවර ගෙන තිබේ.

දෙරට අතර පැවැති මූලික වටයේ තරගයේදී එංගලන්තය ජයගත්තේ ලකුණු 119 කිනි.

ලෝක කුසලානය එංගලන්තය සතුවීමට නම් එංගලන්තයට පිට පිටම සිව්වැනි තරගයත් ජයගැනීමේ හැකියාව තිබිය යුතුය. එහෙත් ලෝක කුසලාන දිනන්නට නවසීලන්තයට අවශ්‍ය වන්නේ පිට පිටම දෙවැනි තරගය ජයගැනීම පමණි.

වසර හතරකට ඉහත, ලෝක කුසලාන අවසන් මහ තරගයේදී, ඕස්ට්‍රේලියානුවන් හමුවේ ලද කඩුලු 7 ක පරාජයේ අමිහිරි මතක තවමත් හිතේ හොල්මන් කරන නවසීලන්ත පිලට තවත් එක කඩුල්ලක් පැනගැනීමේ හැකියාව නැතුවා ම නොවේ.


අදහස් (0)

වැඩි පීඩනය එංගලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.